ලෝක කුසලාන රග්බි තරගාවලිය – මට්සුෂිමා ජපානයට ජය ගෙනෙයි

ජපානයේ කොටාරෝ මට්සුෂිමා ලබාගත් උත්සාහ දිනුම් ත්‍රිත්වය හේතුවෙන් රුසියාවට එරෙහිව අද ( 20)  පැවති සමාරම්භක තරගයෙන් ලකුණු 30 – 10  ක විශිෂ්ට ජයක් ලැබූ සත්කාරක ජපානය මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කළේය.

තරගය ආරම්භ වී මිනිත්තු 4ක් යාමට මත්තෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළ රුසියාවේ කිරිල් ගොලොස්නිට්සිකි තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගත්තේය. එහි ප්‍රවර්ථනයද සාර්ථක කරගත් යුරී කුෂ්නැරේව් ලකුණු 7-0 කින් රුසියාව පෙරමුණේ තැබීමට සමත් වූයේ  ජපානයට රතු එළි දල්වමිනි. කිරිල් ගොලොස්නිට්සිකි ලබාගත් උත්සාහක දිනුම ලෝක කුසලාන රග්බි තරගාවලියක ආරම්භක තරගයකදී වාර්තා වූ වේගවත්ම උත්සාහක දිනුම බවට ද ඉතිහාසයට එක්විය.

එහෙත්, රුසියානු ඉදිරි වළල්ල බිද දමමින් ඉදිරියට ඇදුණු ජපන් ක්‍රීඩකයෝ තරගයේ පළමු උත්සාහක දිනුම විනාඩි 11ක් තුළදී ලබා ගනිමින් නැවතත් තරගයට අවතීර්ණ වීය. වේගවත් ධානයකින් පසු එහි උත්සාහක දිනුම කොටාරෝ මට්සුශිමා සාර්ථක කරගනු ලැබුවද, එහි ප්‍රවර්ථන අවස්ථාව සාර්ථක කර ගැනීමට තිබූ අවස්ථාව ජපානයට මගහැරී යාමත් සමග ලකුණු 7-5 ක් ලෙස ආරම්භයේදී පෙරමුණ ගැනීමට රුසියාවට හැකියාව ලැබිණ.

රුසියානු ක්‍රීඩකයන් තරගයට සාර්ථක ආරම්භක ලබා ගත්තද, එය තරගාවලියට පුරාවට පවත්වා ගැනීමට අපොහොසත් වීම නිසා තරගයේ වැඩි ප්‍රමාණයක් පන්දුව ජපන් ක්‍රීඩකයන් අතර දෝලනය විය. එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 38 වැනි මිනිත්තුවේදී යළිත් ක්‍රියාත්මක වූ  ජපානයේ කොටාරෝ මට්සුශිමා තරගයේ දෙවැනි උත්සාහක දිනුමද ලබා ගනිමින් ජපන් ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබීමට සමත් විය. එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් යූ ටමුරා ලකුණු 12 – 7 කින් පළමු අර්ධය අවසන් කරනු ලැබුවේ ජපානයට තරගයේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවක් ගෙන දෙමිනි.

පළමු අර්ධය – ලකුණු 12 – 7 කින් ජපානය පෙරමුණ ගනියි.

තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු තිහිපයක් යාමට මත්තෙන් ජපානයට ලැබුණු දඩුවම් පහර  සාර්ථක කරගත් යු ටමුරා ජපානය ලකුණු පුවරුව ලකුණු 15 – 7 කින් ඉහළට ඔසවා තැබුවේය. රුසියානු ක්‍රීඩකයන්ට කිසිසේත් ඉදිරියට ඒමට අවස්ථාවක් නොදුන් ජපානයේ පීටර් ලැබුෂේන් නැවතත් 46 වැනි මිනිත්තුවේදී උත්සාහ දිනුමක් වාර්තා කරමින් තරගයේ සම්පූර්ණ වාසිය ජපානය වෙත නතුකළේය. ඒ වන විට ලකුණු පුවරුව ලකුණු 20 – 7 ක් ලෙස සටහන් විය.

රුසියානුවන්ට තරමක හෝ අස්වැසිල්ලක් හිමි වූයේ තරගයේ 60 වැනි මිනිත්තුවේදී හිමිවූ දඩුවම් පහර යුරී කුෂ්නෙරෙව් විසින් සාර්ථක කර ගැනීමත් සමගය. එහෙත් ඒ වනවිටත් ජපානය ලකුණු 10 කින් රැසියාවට වඩා පෙරමුණ ගෙන සිටියේය. ( ලකුණු 20 – 10 )

ලැබුණු අවස්ථා සියල්ලෙන්ම උපරිම ප්‍රයෝජන ලබාගත් ජපානයේ මට්සුෂිමා නැවතත් 68 වැනි මිනිත්තුවේදී වේගවත් ධාවනයකින් ගෝල කණුව පසුකර ලද්දේ, ආරම්භක තරගයේදී උත්සාහ දිනුම් ත්‍රිත්වයක් තමන්ගේ ඉදිරියේ සනිටුහන් කර ගනිමිනි. එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් රිකියා මට්සුදා ජපානයේ ලකුණු පුවරුව ලකුණු 30 – 10 කින් ඉදිරියට ගෙන ගියේය.

ඒ අනුව මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කළ සත්කාරක ජපානය උත්සාහක දිනුම් 4ක්, ප්‍රවර්ථනයන් 2ක් සහ දඩුවම් පහර 2කින් තම ලකුණු පුවරුවට ලකුණු එකතු කර ගනිද්දී, රුසියාවට ලබාගතහැකි වූයේ එක් උත්සාහ දිනුමක්, ප්‍රවර්ථනයක් සහ දඩුවම් පහරක් පමනි.

තරගය පුරාවටම දක්ෂතා දැක්වූ ජපන් ක්‍රීඩක මට්සිෂිමා තරගයේ වීරයා ලෙස නම් කෙරිණ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.