ලේතම් සහ වොට්ලින් ගොඩ නැගූ ඉනිමට ග්‍රෑන්ඩ්හෝම්ගෙන් තල්ලුවක්

ටොම් ලේතම්ගේ විශිෂ්ට ශතකයත් ( 154 ) බී ජේ වොට්ලින්ගේ හා කෝලින් ද ග්‍රෑන්ඩ්හෝම්ගේ විශිෂ්ට පිතිහරඹයත් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්ත කණ්ඩායමට සිව්වන දිනට ( 25 ) තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 382 ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා නවසීලන්තය කඩුලු 5ක් ඇතැතිව  ලකුණු 138 ක් ඉදිරියෙන් සිටියි.

කෝලින් ද ග්‍රෑන්ඩ්හෝම් ( නොදැවී 83 )  සහ බී ජේ වොට්ලින් ( නොදැවී 81 ) ලබා කඩුල්ලේ රැදී සිටියහ.

ඊයේ සිට හැද හැළුණු වර්ෂාව හේතුවෙන් අද උදෑසන 9.45ට තරගය ආරම්භ කිරීමට හැකියාවක් නොලැබුණු අතර, ඒ අනුව සිව්වන දිනයේ පළමු කාල පරිච්ඡේදය මුළු මනින්ම අතහැර දැමීමට සිදුවිය. තරගය පස්වරු 1.40 ට ආරම්භ කෙරුණු අතර නවසීලන්ත ඉනිමේ කොඳු නාරටිය බවට පත් වූ ටොම් ලේතම්ගේ කඩුල්ල දවා ගැනීමට දිල්රුවන් පෙරේරා සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට යම් සහනයක් ගෙන දෙමිනි.

<<දිමුත් වැස්සට අභියෝග කරමින්, දිගු ඉනිමකට සැරසෙයි – Day 01 Report>>

ටොම් ලේතම් දැවී යනවිට පන්දු 251කදී හතරේ පහර 15ක් සමගින් ලකුණු 154ක් ලබා සිටියේය. මෙය ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කළ සිව්වන ශතකය වීම ද විශේෂත්වයකි.

<<වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනට ද තරගය අතහැර දමයි – Day 02 Report>>
        ටොම් ලේතම් 

ටොම් ලේතම්ගේ දැවී යාමත් සමග පිටියට පිවිසි කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් බීජේ වොට්ලින් සමග එක්ව 6 වැනි කඩුල්ල සඳහා පන්දු 147 කදී නොබිදුණු ලකුණු 113 සබඳතාවයක් ගොඩ නගමින් නවසීලන්ත ලකුණු පුවරුව ලකුණු 350න් එපිටතට ගෙන යාමට කටයුතු කළහ.හත්වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසෙමින්  ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට උපරිම සංග්‍රහ කළ කෝලින් ඩි ග්‍රෑන්ඩ්හොම් දැවන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 83 ක් රැස් කිරීමට සමත් විය. ඒ අනුව ඔහුට සිය ශතකය සම්පූර්ණ කිරීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 17ක් පමණි. ඔහු සමගින් අනෙත් අන්තයේ රැදී සිටින බී ජේ වොට්ලින් මන්දගාමී ඉනිමක් දියත් කළද කණ්ඩායමට අවශ්‍යම මොහොතේ සිය දායකත්වය උපරිමයෙන් ලබා දෙමින් සිව්වන දිනට තරගය නතර කරන විට හතරේ පහර 4ක් සමග නොදැවී ලකුණු 81 ක් ලබා සිටියේය.

<<ටොම් ලේතම්ගේ ශතකයෙන් නවසීලන්තය සාර්ථක ගමනක Day 03 Report>> 

තෙවැනි දිනය වූ ඊයේ ( 24 ) වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 4ක් අහිමිව ලකුණු 196ක් ලබාසිටි නවසීලන්ත ඉනිමට අද දිනයේදී තවත් ලකුණු 73 ක් එක් කළ ටොම් ලේතම් සහ බී ජේ වොට්ලින් පළමු ඉනිමේ වාසිය නවසීලන්තය වෙත හරවා දුන්හ.  ඒ අනුව පස්වන කඩුල්ල සඳහා ලකුණු 143ක සබඳතාවයක් ගොඩ නැගීමට ටොම් ලේතම් සහ බීජේ වොට්ලින් සමත් වූහ.

කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්

අද දිනයේදී පන්දුවාර 48ක් ක්‍රියාත්මක කළද දිල්රුවන් පෙරේරා ලබාගත් කඩුල්ල හැරෙන්නට වෙනත් කිසිදු පන්දු යවන්නෙකුට අද දිනයේදී එකදු කඩුල්ලක්වත් දවා ගැනීමට අවස්ථාවක් හිමි නොවූහ. ඒ අනුව දිල්රුවන් පෙරේරා ඊයේ ලබාගත් කඩුලු 2ක් සමගින් ලකුණු 114කට කඩුලු 3ක් බිද හෙලීය.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 244ක් පමණි.

<< කියවන්න – දිමුත්ට දෙවැනි ඉනිමේ, ආරම්භක පිතිකරු භූමිකාව මග හැරෙයි>>

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීමට ධනංජය ද සිල්වා සිට ටෙස්ට් දිවියේ 5 වැනි ශතකය වාර්තා කරමින් ලකුණු 109ක් රැස් කිරීමට සමත් විය.

හෙට ( 26 ) තරගයේ පස්වන හා අවසන් දිනයයි .

නවසීලන්ත පළමු ඉනිම –  පන්දුවාර 110 කදී කඩුලු 5කට ලකුණු 382

( ටොම් ලේතම් 154, කේන් විලියම්සන් 20, රොස් ටේලර් 23, හෙන්රි නිකල්ස් 15, බීජේ වොට්ලින් නොදැවී 81, කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් නොදැවී 83 , දිල්රුවන් පෙරේ රා 114/3 )

ශ්‍රී ලංකා පළමු ඉනිම පන්දුවාර 90.2කදී සියලු දෙනා දැවී ලකුණු 244

( දිමුත් කරුණාරත්න 65, කුසල් මෙන්ඩිස් 32, ධනංජය ද සිල්වා 109 , දිල්රැවන් පෙරේරා 13, සුරංග ලක්මාප් 10, ටිම් සවුති 63/4, ට්‍රෙන්ට් බෝල්ට් 75/3 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.