2020 පැරාලිම්පික් තරගාවලිය ට ශ්‍රී ලංකාවෙන් වැඩි සහභාගිත්වයක්

ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන 2020 පැරාලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් සහභාගිකරවීමට බලාපොරොත්තුවන බව ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති මේජර් ජනරල් රජිත අම්පෙමොහොට්ටි පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික පැරාලිම්පික් කමිටුව සංවිධානය කරනු ලබන ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹ ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැති මාධ්‍ය හමුවේදීයි .

“2020 ටෝකියෝහි පැවැත්වෙන පැරාලිම්පික් තරගාවලිය සඳහා. විශේෂයෙන් සඳහන් කරනව නම්, 1996 ඉදන් පැරාලිම්පික් තරගාවලිය සඳහා අපේ ක්‍රීඩකයන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම ඒ හැම අවුරුද්දකම අපි එක ක්‍රීඩකයෙක් හරි වැඩියෙන් ඉදිරිපත් කරන්න කටයුතු කළා. ඒ නිසා අපේ අපේක්ෂාව 2020 දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ක්‍රීඩක සංඛ්‍යාවක් ඉදිරිපත් කරන්න”

ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලිය සැප්තැම්බර් 05 සහ 06 යන දෙදින කොළඹ සුගතදාස එළිමහන් ධාවන පථයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී මෙම වසරේ නොවැම්බර් මාසයේදී ඩුබායිහිදී පැවැත්වීමට නියමිත ලෝක පැරා මළල ක්‍රීඩා ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම ට නියමිතයි.

මෙවර තරගාවලිය සඳහා දිවයින පුරා විසිරි සිටින ක්‍රීඩා සමාජ 70න් ක්‍රියාකාරී ක්‍රීඩා සමාජ 45කගේ පමණ සහභාගීත්වයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800ක් පමණ සහභාගී වීමට නියමිතය. මෙහිදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්, දෘශ්‍යාබාධිතයන් සහ ශාරීරික ආබාධ සහිත හා බුද්ධි ඌණතා සහිත පුද්ගලයන් ලෙස විවිධ ප්‍රභේද ඔස්සේ, තරග ඉසව් 190ක් පමණ පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලියේ විශේෂත්වය සහ ඉදිරි ඉලක්ක පිළිබඳ ව ද ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති මේජර් ජනරල් රජිත අම්පෙමොහොට්ටි මාධ්‍යය දැනුවත් කළේය.

“ අපි නොවැම්බර් මාසයේ ඩුබායිහි පැවැත්වෙන ලෝක පැරා මළල ක්‍රීඩා තරගාවලිය සඳහා මූලික අවධානය යොමුකර තිබෙනවා. එම නිසා ලෝක පැරා තරගාවලිය සඳහා අවම පරිසාධන මට්ටම ඉක්මවාලු 10 දෙනෙක්වත් මෙම ජාතික තරගාවලිය හරහා සුදුසුකම් ලබයි කියලා අපි හිතනවා. ඒ වගේම එය සුදුසකම් ලැබීමක් වෙනවා

“ලෝක මට්ටමේ පළමු හය අතර සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17 ක් ඇතුළත් ජාතික පැරා මලල ක්‍රීඩා සංචිතයක් මේ වන විට පුහුණුවීම් කරනවා. ඒ පුහුණුවීම්වල සාර්ථකත්වය මත කොපමණ සංඛ්‍යාවක් ප්‍රධාන තරගාවලිවලට සහභාගි වනවාද යන්න තීරණ වෙයි” යැයි සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජාතික පැරාලිම්පික් කමිටුවේ උප සභාපති සහ මලල ක්‍රීඩා ප්‍රධානි ලුතිනන් කර්නල් දීපාල් හේරත් ජාතික පැරාලිම්පික් කමිටුවේ වැඩ කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ සහය අගය කළේය.

” ක්‍රීඩා අපගේ පුහුණු සංචිත පවත්වාගෙන යන්න විශාල සහයෝගයක් ලබා දෙනවා දෙනවා. විශේෂයෙන් ආහාරපාන , නේවාසික පහසුකම් ලබාදෙමින් අවශ්‍ය කටයුතු සොයා බලනවා ”

මෙවර තරගාවලිය සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන ඩයලොග් ආසියාටා සමාගම තවදුරටත් ජාතික පැරාලිම්පික් කමිටුව සමගින් එක්ව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවත්, තම ගොඩ නැගූ සබඳතාවය ඉදිරියටම පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත් එහි ජ්‍යෙෂ්ට නියෝජ්‍ය සාමාන්‍යධිකාරී හර්ෂ සමරනායක අදහස් දක්වමින් කියා සිටියේය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.