ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන එක්දින සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන එක්දින තරගාවලියට අදාල ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් පාකිස්තාන සංචිතය අද ( 21 ) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

කණ්ඩායමේ නායකත්වය සෆ්රාස් අහමඩ්ට හිමිව ඇති අතර, බාබර් අසාම් කණ්ඩායමේ උප නායකයා ලෙසින් කටයුතු කරනු ලැබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ ශහීන් අෆ්රීඩ්ට ඩෙංගු උණ වැළදීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්ව ඇති අතර, හසන් අලීද ආබාධයට ලක්ව තිබේ. මේ හේතුවෙන් ඔවුන් දෙදෙනාම එක්දින සංචිතයට එක් නොකළ බව පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මෙන්ම තේරීම් කමිටුවේ ප්‍රධානි මිස්බා උල් හක් අද මාධ්‍ය වෙත කියා සිටියේය.

අබිඩ් අලී, ඉෆ්තිකර් අහමඩ්, මොහොමඩ් නවාස්, මොහොමඩ් රිස්වාන්, උස්මාන් ශින්වාරි සහ මොහොමඩ් හස්නෙයින් නැවතත් කණ්ඩායමට කැදවීමට පාකිස්තාන තේරීම් කමිටුව පියවර ගෙන ඇත. 29 හැවිරිදි අෆ්තිකර් අහමඩ් 2015 වසරේ එංගලන්තයට එරෙහිව එක්දින තරග 2කට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුවද, දීර්ඝ කාලීනව කණ්ඩායමේ රැදීමට අවස්ථාවක් හිමි නොවූයේ ඒ වනවිට මොහොමඩ් හෆීස් සහ ෂොයිබ් මලික් කණ්ඩායමේ ප්‍රධාන තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස එක්ව සිටි බැවිනි. නමුත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු එක්දින පිටියට සමුදුන් මලික් වෙනුවට ඉෆ්තිකර් අහමඩ් නැවතත් කණ්ඩායමට කැදවීමට තීරණය කර තිබේ.

එක්දින හා විස්සයි 20 තරගාවලියන්ට අදාල ශ්‍රී ලංකා සංචිතයන් මේ වනවිටත් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව පාකිස්තාන විස්සයි 20 සංචිතය එක්දින තරගාවලිය අතරවාරයේදී මාධ්‍යට නිකුත් කිරීමට නියමිත බවද මිස්බා උල් හක් අද කියා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ක්‍රිඩකයන් 10 දෙනෙකුම සිය සහභාගීත්වය ප්‍රතික්ෂේප කිරීමත් සමග ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ළහිරු තිරිමාන්ටත්, විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකටත් පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

දෙරට අතර පළමු එක්දින තරගය මේ මස 27 වැනිදා පාකිස්තානයේ කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිතය.

පාකිස්තාන එක්දින සංචිතය සෆ්රාස් අහමඩ් ( නායක ), බාබර් අසාම් ( උප නායක ) , අබිඩ් අලී, අසිෆ් අලී,ෆකාර් සමාන්,  හැර්සි සොහේල්, මොහොමඩ් හස්නෙයින්, ඉෆ්තිකර් අහමඩ්, ඉමාඩ් වසීම්, මොහොමඩ් අමීර්, මොහොමඩ් නවාස්, මොහොමඩ් රිස්වාන්, ශඩාබ් ඛාන්, උස්මාන් ශින්වාර්, වහාබ් රියාස්

තරග කාල සටහන

සැප් – 27 – පළමු එක්දින තරගය කරච්චිහිදී

සැප් -29 – දෙවැනි එක්දින තරගය කරච්චිහිදී

ඔක් – 02 – තෙවැනි එක්දින තරගය කරච්චිහීදි

ඔක් – 05 – පළමු විස්සයි 20 තරගය ලාහෝර්හිදී

ඔක් – 07 – දෙවැනි විස්සයි 20 තරගය ලාහෝර්හිදී

ඔක් – 09 – තෙවැනි විස්සයි 20 තරගය ලාහෝර්හිදී

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.