කිරිබත්ගොඩ ‘ද ෆ්‍රෙන්ඩ්ස්‘ පාපැදි ක්‍රීඩකයන්ට ප්‍රීමා සමාගමෙන් ජවයක් 

 

මෙරට පාපැදි ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් අනුග්‍රාහකයන් ඉදිරිපත් වීම සැමදා සිදුවන්නක් නොවේ. කලාතුරකින් උදාවන මේ වාසනාව දිවයිනේ පාපැදි ක්‍රීඩා සමාජ 56ක් අතරින් හිමිකර ගෙන සිටින්නේ කිරිබත්ගොඩ ‘ද ෆ්‍රෙන්ඩ්ස්‘ පාපැදි සමාජයයි. මේ උදාර මෙහෙවරට ඉදිරිපත්ව සිටින්නේ සීමාසහිත සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් (ප්‍රීමා සමාගම) ආයතනයේ නවතම නිෂ්පාදනයක් වන ‘ප්‍රීමා ස්ටෙලා සෙට් යෝගට්‘ සන්නාම නාමයයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාගමක් විසින් මෙරට පාපැදි සමාජයකට පූර්ණ අනුග්‍රාහකත්වයක් ලබා දෙන ප්‍රථම අවස්ථාව මෙය වෙයි. විසිපස් වසරක ඉතිහාසයක් ඇති ‘ද ෆ්‍රෙන්ඩ්ස්‘ පාපැදි සමාජය විසින් පාපැදි ක්‍රීඩකයන් සියයකට ආසන්න ප්‍රමාණයක් ජාතික තලයට දායාද කර තිබේ.

වර්තමාන ජාතික පාපැදි තරග බිමේ අංක 1 ට ශ්‍රේණිගතව සිටින ප්‍රභාෂ් මධුශංක (නාවික හමුදාව) සහ ඊට පෙර අංක 1 ශ්‍රේණියේ පසුවූ චාමික සඳුන් කුමාර යන දක්ෂ ක්‍රීඩකයන් බිහිවූයේද ‘ද ෆ්‍රෙන්ඩ්ස්‘ පාපැදි සමාජයෙනි. මධුශංක වසර 3ක් මේ සමාජය වෙනුවෙන් පාපැදිය මෙහෙයවූ අතර විදෙස් පාපැදි කෙළිබිමේ ශ්‍රී ලංකාව නියෝජනය කළ සඳුන් කුමාර වසර 5කට අධික කාලයක් ‘ද ෆ්‍රෙන්ඩ්ස්‘ වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ.

අද ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන්ද පෙලහර පාන පාපැදි ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ පාපැදි තරග බෞතීස්මය ලබා ගෙන ඇත්තේ මෙවැනි පාපැදි සමාජවලිනි. එහෙත් පසුකලෙක ඔවුන් දිවයිනේ ප්‍රධාන ආයතනවලට එක්ව සිටින්නේ මෙවැනි අනුග්‍රාහකයන් ඔවුන්ගේ ක්‍රීඩා සමාජ වෙනුවෙන් ඉදිරිපත් නොවුනු හෙයිනි. මේ හේතුවෙන් අද පාපැදි තරග බිම මේ ආයතන විසින් ආක්‍රමණය කර තිබේ. සෑම තරගයකම ජයග්‍රාහකයන් වන්නේ මේ ආයතන නියෝජනය කරන ක්‍රීඩකයන්ය. එහෙත් ඔවුන් සිය ආරම්භය ලබා ගෙන තිබෙන්නේ ‘ද ෆ්‍රෙන්ඩ්ස්‘ වැනි පාපැදි සමාජ හරහාය. මේ තත්ත්වය වෙනස් කළ හැක්කේ මෙවැනි ක්‍රීඩා සමාජවලට අතදීම පිණිස අනුග්‍රාහකයන් ඉදිරිපත් වීමෙන් පමණි. ප්‍රීමා ආයතනයේ මේ අනුග්‍රාහකත්වය අද දිනයේ වඩාත් වැදගත් වනුයේ මේ කාරණය නිසාවෙනි.

කිරිබත්ගොඩ ‘ද ෆ්‍රෙන්ඩ්ස්‘ පාපැදි සමාජයට ‘ප්‍රීමා ස්ටෙලා සෙට් යෝගට්‘ අනුග්‍රාහකත්වය පිරිනැමීම සිදුකෙරුණු අවස්ථාවේදී ප්‍රීමා සමාගමේ විශේෂ ඉසව් හා සන්නාම ප්‍රවර්ධන කළමනාකරු දිනේෂ් විමලචන්ද්‍ර මහතා (වමේ සිට තෙවැනියට) විසින් ‘ද ෆ්‍රෙන්ඩ්ස්‘ පාපැදි සමාජයේ සභාපති අමල් රුද්‍රිගු මහතා වෙත අනුග්‍රාහක්තවය පිරිනැමූ අයුරු ඡායාරූපයෙන් දිස්වෙයි. එම පාපැදි සමාජයේ ලේකම් සුමිත් බාලසූරිය සහ භාණ්ඩාගාරික සමන් නිශාමන් පතිරණ යන මහත්වරුද මෙහි වෙති

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.