කලකිරුණු මංජුල කුමාර ක්‍රීඩාවෙන් සමුගනියි.

ශ්‍රී ලංකාවේ උස පැනීමේ ජාතික වාර්තාව උසුලන මංජුල කුමාර වීරසේකර තමා ක්‍රීඩාවට සමුදෙන බව ක්‍රීඩා විද්‍යාතනයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.

නේපාලයේ පැවැත්වීමට නියමිත දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සහභාගීවී සමුගැනීමේ ප්‍රකාශය සිදුකිරීමට සුදානම් ව සිටියත් මෑතකදී ඇතිවූ ඇතැම් සිද්දීන් මෙම තීරණය කඩිනම් කිරීමට හේතුවක් වූ බව මංජුල එහිදී වැඩිදුරටත් පැවසිය.

මංජුල කුමාර බදුල්ලේදී මෙයට දින කිහිපයකට පෙර නිමාවූ ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගීවීමට අවස්ථාව ඉල්ලා සිටියද එම අවස්ථාව ඔහුට ලබා නොදුණි. ශ්‍රී ලංකාවේ පැවැති තේරීම් තරගවලට සහභාගි නොවීම හේතුවෙන් මලල ක්‍රීඩා සංචිතයෙන් ඉවත්කොට තිබිණි.

“මා පසුගිය කාලයේ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතු වල නිරත වුණා. එහිදී මීටර් 2.15ක දක්ෂතාවක් පෙන්වා එය ශ්‍රී ලංකාවට ඉදිරිපත් කළා. මා කල්පනා කළේ ශ්‍රී ලංකාවේ තේරීම් තරගවලට සහභාගී නොවුණත් ඔස්ට්‍රේලියාවේ දක්ෂතාව පිළිගෙන දකුණු ආසියා හා ජාතික ක්‍රීඩා උළෙල නියෝජනයට අවස්ථාව ලැබෙයි කියා. නමුත් ඒක සාර්ථක වුණේ නෑ. සමුගැනීම කොයි මොහොතක හෝ විය යුතුයි. ඒ නිසයි මේ වේලාවේ ඒ අපහසු තීරණය ගත්තේ“

මංජුල කුමාර මොරවක කොස්හින්නගොඩ කනිෂ්ඨ විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටියදී 97 වසරේදී දික්වැල්ල විජිත මධ්‍ය මහා විදුහලට ක්‍රීඩා ශිෂ්‍යත්වයක් ලබා පැමිණි අතර එහිදී උස පැනීමේ ඉසව්ව ප්‍රගුණ කළේය.

වසර 1998දී සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේදී පළමු රන් පදක්කම දිනාගත් මංජුල වසර 2004 ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී හා 2005 ඉන්චියොන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 2.27 ක උසක් පැන ජාතික වාර්තාව පිහිටවූ මංජුල කුමාර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇතුළු ශ්‍රී ලංකාව නියෝජනය කළ සියලු ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ අවස්ථා උදාකර ගත්තේය. හෙතෙම ආසියානු රන් පදක්කම් දිනාගත් අතර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අවස්ථා තුනකදී රන් පදක්කම් දිනා ගත්තේය.

වසර 18ක් ජාතික ශූරයා බවට පත්වූ මංජුල කුමාරගේ මුල් පුහුණුකරු කීර්ති කුමාර මහතා වූ අතර පසුව කියුබානු පුහුණුකරු ලුවිස් මිරැන්ඩා හා ඔස්ට්‍රේලියානු ජාතික ඇලෙක්සැන්ඩර් බිසිමතෝ යන මහත්වරු යටතේ පුහුණුව ලැබුවේය

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.