තියුණු සටනකින් පසු පුහුණු තරගයේ ජය ඕස්ට්‍රේලියා ක්‍රිකට් අගමැතිගේ කණ්ඩායමට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියා කැන්බරා හි පැවති පෙරපුහුණු විස්සයි 20 තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් අගමැතිගේ කණ්ඩායම අද ( 24 ) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 132 ක ඉලක්කය හඹාගිය ඕස්ට්‍රේලියා ක්‍රිකට් අගමැතිගේ කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලු 9ක් දැවී සිය ඉලක්කය පසුකර ගියේය.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු හැරී නිල්සන් පන්දු 50 කදී හයේ පහරක් සහ හතරේ පහර 9ක් සමගින් ලකුණු 79ක් රැස් කිරීමට සමත් විය.

ඕස්ට්‍රේලියානු ඉනිමේ පිතිකරුවන් 7 දෙනෙකුම ලකුණු 26කට දවාලීමට කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුවද, අවසන් කඩුල්ල සඳහා එක් වූ ෆවඩ් අහමඩ් සහ රොබඩ් බ්ලූම්ෆීල්ඩ් අවසන් ලකුණු 9 රැස් කරමින් ඕස්ට්‍රේලියා අගමැතිගේ කණ්ඩායමට ජයග්‍රහණය ගෙන ඒමට කටයුතු කළහ.

පන්දු යැවීමේදී කසුන් රාජිත ලකුණු 21 කට කඩුලු 3ක් සහ ලක්ෂාන් සඳකැන් ලකුණු 21කට කඩුලු 3 බැගින් බිද හෙලමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කන්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 131 ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඕෂධ ප්‍රනාන්දු පන්දු 25කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 38ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් භානුක රාජපක්ෂ පන්දු 17 කින් හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 24ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ඩැනියෙල් ක්‍රිස්ටියන් ලකුණු 16කට කඩුලු 2ක් සහ රොබඩ් බ්ලූම්ෆීල්ඩ් ලකුණු 17කට කඩුලු 2 බැගින් බිද හෙලූහ.

අද ( 24 ) පැවති පෙර පුහුණු විස්සයි 20 තරගයට ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට එක්ව සිටීම ද කාගේත් අවදානය යොමු විය. ඔහු එහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එක්ව සිටියේ 13 වැනි ක්‍රීඩකයා ලෙසයි. ඔහු අවස්ථා කිහිපයකදීම ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙත සිසිල් පැන් ගෙන එම්න් ඔහුගේ සගයන්ට සහයෝගය දක්වනු දකින්නට ලැබිණ. .

දෙරට අතර පළමු විස්සයි 20 තරගය මේ මස 27 වැනිදා පැවැත්වීමට නියමිතය.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.