ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ පනත විවාදය නොවැම්බර් 11-ක්‍රීඩා ඇමති හරින්

ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ සඳහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලද පනත නොවැම්බර් 11 වෙනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා අමාත්‍යවරයා අනාවරණය කළේය.

ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ (7) පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි.

ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීම උදෙසා කෙටුම්පත් කරන ලද මේ විශේෂ ක්‍රීඩා පනත ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණ ද යම්කිසි ප්‍රමාද දෝෂයකින් හෝ අතපසුවීමකින් එය න්‍යාය පත්‍රයට ඇතුළත් නොවූ බව අමාත්‍යවරයා කියා සිටියේය. ඒ වෙනුවට නීති රෙගුලාසි 3ක් පමණක් විවාදයට ගැනීමෙන් පසුව සම්මත වූ බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය .

‘ඊයේ සිදුවූ මේ අතපසුවීම සැළකිල්ලට ගෙන මේ ක්‍රීඩා පනත නිසාම අති විශේෂ ගැසට් පත්‍රයකින් ලබන 11 වැනිදා පාර්ලිමේන්තුව රැස් කිරීමට කටයුතු කර තිබෙනවා. අගමැතිවරයාගේ ලිඛිත ඉල්ලීමක් මත කතානායකවරයා එදිනට පාර්ලිමේන්තුව කැඳවීමට කළ යෝජනාව පක්ෂ නායක රැස්වීමේ එකමතික තීරණය වුණා. එදින මේ ක්‍රීඩා පනත පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නවා.”

‘එදින මෙරට ක්‍රීඩා ඉතිහාසයේ විශේෂ දිනයක් වේවි. මේ සඳහා දායකත්වය දුන් ක්‍රීඩා අමාත්‍යංශයේ සියළුම නිලධාරීන්ටත්, නීතිපති දෙපාර්තුමේන්තුවටත් විශේෂ ස්තූතිය පුද කරනවා.‘ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

ලබන 11 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ක්‍රීඩාවට සම්බන්ධව වැරැදි වැළැක්වීමේ පනතට අනුව ක්‍රීඩා තරග පාවාදීම්, දූෂණය, නීතිවිරෝධී ඔට්ටු තැබීම ආදි වැරැදි රැසක් වැළැක්වීම සිදුකෙරෙන අතර එවැනි වරදකට හසුවන පුද්ගලයන්ට මහාධිකරණයේ නඩු තීන්දුවකින් අනතුරුව වරදකරුවන් වුවහොත් රුපියල් මිලියන 100ක් දක්වා දඩයකට සහ වසර දහයක සිර දඬුවමකටත් යටත්වීමට සිදුවනු ඇත. මීට අමතරව එවැනි තොරතුරු හෙළිදරවු කිරීම පැහැර හරින පුද්ගලයන්ට වසර දෙකක සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 3ක දඩ මුදලකට යටත්වීමට සිදුවනු ඇත. ආසියානු රටක මෙවැනි පනතක් ඉදිරිපත් වන්නේ පළමුවරටය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.