යෝකර් පන්දුවෙන් ලොව ජයගත් මාලිංග  

අපහාස උපහාස මැද ක්‍රිකට් පිටිය උඩියටිකුරු කරමින් ශ්‍රී ලාංකීය ක්‍රිකට් නාමය ඉහළට ඔසවා තැබීමට කටයුතු කළ ලසිත් මාලිංග, ඊයේ (06)  රාත්‍රිය ශ්‍රී ලාකිකයන්ට පමණක් නොව සමස්ත ලෝකවාසී ක්‍රිකට් රසිකයන්ට ද අපූරු පාඩමක් කියා දුන්නේය. විකට් එකක් ගන්නා දාට හුරේ දාන, ඕවර 10ට ලකුණු 70 ක් 80ක් වැදෙන දාට අම්ම මුත්ත මතක් කරන අපි හැමෝටම ක්‍රිකට් ක්‍රීඩාවේ රහස මෙය බව ලසිත් මාලිංග නැවත නැවතත් ඔප්පු කළේ ඒ බැවිනි. සමහරු බඩ වැඩි කියා ඔහුට ක්‍රිකට් ගසන්නට බෑ කීහ. තවත් අය දැන් විශ්‍රාම ගන්න කාලය හරි යැයි කියා ආඩිපාඩි දෙඩූහ. සමහර මාධ්‍ය ඔහුට පන්න පන්නා මඩ ගැසුවේය. සමහරු මාලිංගගේ කටවැටී කීහ. තවත් අය මුදලට විකිනෙන දේශද්‍රෝහියෙකු බව කීහ. සමහර ක්‍රීඩකයෝ කණ්ඩායම ඇතුලේ සිටම ඔහුට කැපිල්ල දැමූහ. ඒ සියල්ලටම සානුකම්පිතව උත්තරදුන් මාලිංග හිතේ හයියෙන් ක්‍රිකට් ගසා කයිවාරුකාරයන්ගේ කට වැසුවේය.

පන්දුවට වැද ආශිර්වාද ලබා ගන්නා මාලිංග, විකට් එකක් ගියද හයේ හතරක් වැදුනද සිනා සී නැවත ඔහුගේ මායිම දෙසට පිවිසෙන්නේය. ඒ ඔහුටම ආවේණික වූ ස්ටයිල් එකකි. ඔහු තනිකරම ක්‍රිකට් එක ස්ටයිල් වලින් පුරාව ගත්තේය. සමහරු ඔහුට රස්තියාදුකාරයා යැයි කීහ. නමුත් ඔහු අනිත් සියල්ලටම වඩා වෙනස්ය. ඒ නිසා කරන්නේ ද වෙනස් ම වූ වැඩය. දැන් ඔහු ඇත්තටම වයසය. මෙහෙම කියන්නේ වෙන කවුරුත් නොව අපිමය. ඒත් මාලිංගට ඔහුගේ වයස වැඩක් ම නැත. අවුරුදු 20 ක 25ක තරුණයෙකුට කරන්න බැරි දේ 36 හැවිරිදි මාලිංග කර පෙන්වන්නේය.  මාලිංගගේ යෝකර් පන්දුවට ඕන තරම් පිතිකරුවන් දණ ගැසෙන බව අපි දැක ඇත්තෙමු. ඒත් පන්දු 4කින් පිට පිට කඩුලු 4ක්. ඒකත් එක වරක් නොව  දෙවාතවකි. ඇත්තටම පිතිකරුවෝ අසාර්ථක ද? නැහැ. පිතිකරුවන්ට වඩා මාලිංග අති සාර්ථකය. තිබෙන වෙනස එතනය.  අපූරුයි නේද? ඒ සියල්ලට මාලිංග දුන්නේ එක පිළිතුරකි.

“ මේක මගේ එක ඇචිව්මන්ට් එකක් විතරයි. මේ දේ මගෙන් දැන් වෙලා ඉවරයි. සමහර විට අදින් පස්සේ මට ලකුණු ගැහුවොත් ඔය ගත්ත විකට් හතරත් ඉවරයි. මගේ ඇචිවුමන්ට් කියන සේරම දේවල් ඉවරයි. ඒ නිසා මේ දේ මට සාමාන්‍ය දෙයක් විතරයි. ඒ නිසා මගේ ටාගට් එක සෙල්ලම් කරන තාක්කල් මගේ උපරිමය කරන එකයි. දෙයක් කියන්න ඕන හැමදාම සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි මම සාර්ථක වෙන දවසට ඒ ගේම ඉවර වෙනකම්ම රන් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒ වෙලාවට හරියන්නත් පුළුවන්. සමහර විට වරදින්නත් පුළුවන්. නමුත් මම සතුට වනවා විස්සයි 20 පිටියෙත් පිට පිට පන්දු 4කින් කඩුලු 4ක් ගන්න ලැබීම ගැන. මේ මම ගෙවන්නෙ මගේ අවසන් කාලය. ඒ නිසා මාත් එක්ක ක්‍රීඩාකරන අලුත් ක්‍රීඩකයන්ට මේ දේවල් ඇස් දෙකෙන් දැකලා ඔවුන්ට හිතෙයි කවදක හරි මේ වගේ ඇච්වුමන්ට් එකකට ඔවුනුත් යන්න ඕන කියලා. ඒක තමයි ක්‍රීඩකයෙක්ට වැදගත් වෙන්නේ කෙනෙක් දිහා බලලා පුහුණුවීම් කටයුතු කරන්න.

මාලිංග හරි සිම්පල් මනුස්සයෙකි. කොටින්ම කීවොත් ඕනවට වඩා ඔළුව පුම්බා නොගත් ක්‍රීඩකයෙකි. සමහරුන්ට ඔහුගේ වචන දිරවන්නේ නැති බව ඇත්තය. ඒත් ඔහු කියන්නේ ඇත්ත බව කිව යුතුය.  ඔහු තරගයේදී රිස් එකක් ගන්න දෙපාරක් නොසිතන බව අනේක වාරයක් කියා ඇත්තේය. ඒය ඔහුගේ සාර්ථකත්වයේ රහස බව කියා තිබේ.

“ මම ඕනම තරගයකට එන්නේ, මට තරගය වෙනස් කරන්න පුළුවන් කියලා හිතාගෙන. කණ්ඩායමත් එක්ක බැලුවම ඔවුන්ට වඩා මට අත්දැකීම් වැඩියි. ඒක කවුරු පිළිගත්තත් නැතත්, මට මාව විශ්වාසයි. ඒ නිසා තරගයක් ඇතුළදී මම මොකක්ද කරන්න ඕන කියලා මට දැනෙනවා. ඒ නිසා පන්දුව අතට ගත්ත පළමු පන්දුවාරය තුළදීම ගේම මගේ පැත්තට හරවා ගන්න මම නිතරම උත්සාහ කරනවා. නවසීලන්තයේ පළමු කඩුල්ල ලබා ගත්තට පස්සේ, ඒයාලගේ පන්දුවට පහර දෙන්න ආවේ ඩෙබිව් මැච් එක ගහන කෙනෙක්. ඉතින් මට ඕන වුණා එයා පළවෙනි බෝලයෙන්ම අවුට් කරන්න ඕන කියන එක. අපිට ඇත්තටම මේ තරගාවලියේදී කරදරයක් වුනු ක්‍රීඩකයන් දෙන්නෙක් තමයි රොස් ටේලර් සහ ගෑන්ඩ්හෝම් කියන්නේ. ඉතින් මට ඕන වුණා මේ දෙන්නව ඉක්මනින්ම නතර කරන්න. ඉතින් මම තීරණය කළා එවෙලේ යෝකර් දෙකක් දාපු මට තුනක් දාන්න බැරි නැහැ කියාල. ඉතින් ඒකත් සාර්ථක වුණා. ඊට පස්සෙ මට හිතුනා ඇයි මට බැරි 4 වැනි යෝකර් එකත් දාන්න කියලා. හිතේ හයියෙන් ටයිමින් එකට මම ඒකත් දැම්මා. ඉතින් මම ඕනම වෙලාවක රිස් එකක් ගන්න කැමති කෙනෙක්. මගෙන් ඕන විකට් නම් මම ලකුණු කීයක් ගියත් මම ඒ දේ ට්‍රයි කරනවා. ඒ නිසා රිස්ක් එක කියන්නේ මගේ ජීවිතයේ පිටියෙන් ඇතුලේ වගේම පිටතදිත් මම බය නැතුව යූස් කරන දෙයක්.

අභියෝග වලට බිය වී සිය ගමන් මාර්ගය වෙනස් කරගන්නා මිනිසුන් අතර මාලිංග යනු රිස්ක් එක අභියෝගයක් කර නොගත් පුද්ගලයෙකි. ඔහු රිස්ක් එකක් නැති තැන තරගයක් නැති බව දුටු කෙනෙකි. ඒ නිසාම ඔහු රිස්ක් එකට ආදරය කළේය. ඒ සියල්ලටම වඩා ක්‍රිකට් පිටියේ රැදීමට ඔහුට වැදගත් වූයේ මනා කැපවීම බව ඔහු එක්වරක් කියා තිබුණි. ක්‍රිකට් පිටියේ පමණක් නොව ඕනම ක්ෂේත්‍රයක රැදීමට නම්, ඔහුට හෝ ඇයට තමන් කරන දෙය ගැන විශ්වාසයක් තිබිය යුතුය. එසේම එම ඉලක්ක පසුපස හඹා යා යුතුය. එවැනි අඩුපාඩුකම් ඇති ඔබ අප සියලු දෙනාටම මාලිංග යනු පාඩම් මාලාවකි. මාලිංග තනිවම පුහුණුවීම් කළේය. අසාර්තක යැයි කියා කණ්ඩායමේ එළියට දැමූ විට ඔහු ඔහුගේ ඉලක්කය අත් නොහැරියේය. සමහරු ඔහුගේ වයසට අභියෝග කළේය. ඒත් ඒ අය මාලිංගගෙන්ම ඉගෙන ගත්තෝය.  ඔහු යෝකර් පන්දුවට ඉලක්කය ගත්තේ තනි සපත්තුවකට පන්දු යොමුකරමිනි. ඔහු ඒ  තරම් කැපවීම් කළේය. දවසේ පැය 2ක් 3ක් යෝකර් පන්දුවම දැමීමට  පුහුණුවීම් කළ බව ඔහු විටෙක කියා තිබුණි. ඒ නිසා යෝකර් පන්දුවෙන්ම ඔහු ලෝකය ජය ගත්තේය. එබැවින් මාලිංග යනු ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයකි.

මේ වනවිට ටෙස්ට් හා එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින ලසිත් මාලිංග අපට දැකගත හැකි වන්නේ විස්සයි 20 ක්‍රිකට් පිටිය තුලදි පමණය. සමහරු ඔහුට දේශද්‍රෝහියා යැයි කීවේ සල්ලි වලට අයි පී එල් ගැසූ නිසාය. නමුත් කිවයුතු දෙයක් තිබේ. ඔහු සල්ලි වලට ක්‍රිකට් ගැසුව ද ඔහු ඉදිරියේ ලීග් තරගවල කිසිදු කඩුලු ත්‍රිත්ව වාර්තාවක් මෙතෙක් සනිටුහන් වී නොමැත. ඔහු සම්පූර්ණයෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කළේය. ඔහුගෙන් වැඩක් ගන්න සමහරු කම්මැලි වූහ. සමහරුන්ට එය අඩුවක් වගේ දැණින. නමුත් ඔහු ඔහුගේ ගමන යන්නේය.

නවසීලන්තයට එරෙහිව පැවති තෙවැනි විස්සයි 20 තරගයෙන් පසු මාලිංග ඉදිරියේ ලියවුණු වාර්තා

  • ජාත්‍යන්තර එක්දින පිටියේ මෙන්ම විස්සයි පිටියේද පන්දු 4කදී පිට පිට කඩුලු 4ක් දවාගත් ලොව පළමු පන්දු යවන්නා බවට ඉතිහාසයට එක්විය. 2007 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පිට පිට පන්දු 4කින් ෂොන් පොලොක්, ඇන්ඩෘ හෝල්, ජැක් කලීස් සහ මකායා එන්ටිනිගේ කඩුලු 4ක් දවාගත් ලසිත් මාලිංග මෙම වාර්තාව පිහිටුවීමට සමත් විය. නමුත් ලසිත් මාලිංග එක්දින පිටියේ තැබූ වාර්තාවට අභියෝග කළ රශීඩ් ඛාන් ද අයර්ලන්තයට එරෙහිව පැවති විස්සයි 20 තරගයකදී පිට පිට පන්දු 4කින් කඩුලු 4ක් දවා ගනිමින් විස්සයි 20 පිටියේ එවන් දක්ෂතාවයක් කළ පළමු පන්දු යවන්නා බවට ඉතිහාසයට එක්විය. එය යළිත් සනාත කළ ලසිත් මාලිංග 2007 වසරට ක්‍රීඩා ලෝලීන් ගෙන යමින් නැවතත් නවසීලන්තයට එරෙහිව පැවති අවසන් විස්සයි 20 තරගයේදී කෝලින් මොන්රෝ, හමීෂ් රදර්ෆඩ්, කෝලින් ඩි ග්‍රෑන්හෝම් සහ රොස් ටේලර් දවා ගනිමින් ක්‍රිකට් පිටියේ යෝකර් රජු ඔහු බව සනාථ කළේය.
  • නවසීලන්තයට එරෙහිව ලබාගත් කඩුලු ත්‍රිත්වයත් සමගින් විස්සයි 20 පිටියේ කඩුලු ත්‍රිත්ව දෙකක් ලබාගත් ලොව පළමු පන්දු යවන්නා බවට ඉතිහාසයට එක්විය. මීට පෙර ලසිත් මාලිංග 2017 වසරේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තේය.
  • එසේම ජාතයන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ත්‍රිත්ව ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා බවට ලසිත් මාලිංග ඉතිහාසයට එක්විය. ඔහු මේ වනවිට කඩුලු ත්‍රිත්ව අවස්ථා 05කට සිය දායකත්වය සපයා ඇති අතර පකිස්තාන හිටපු පන්දු යවන්නෙකු වන වසීම් අක්‍රම් සතුව කඩුලු ත්‍රිත්ව අවස්ථා 4ක් පවතියි.
  • නායකයෙකු වශයෙන් කණ්ඩායමේ සිටිමින් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ ලොව දෙවැනි පන්දු යවන්නා බවට මාලිංග ඉතිහාසයට එක්විය. මීට පෙර පකිස්තානු හිටපු නායකයෙකු වන වසීම් අක්‍රම් නායකයෙකු ලෙස සිටියදී කඩුලු ත්‍රිත්ව අවස්ථා 2ක් වාර්තා කිරීමට සමත්ව ඇත.
  • විස්සයි 20 ක්‍රිකට් පිටියේ නායකයෙකු ලෙස කටයුතු කරමින් අඩුම ලකුණු සංඛ්‍යාවකට කඩුලු 5ක් දවාගත් පන්දු යවන්නා බවට මාලිංග ඉතිහාසයට එක්විය. ඔහු මෙම කඩුලු 5 ලබා ගනීම සදහා ප්‍රතිවාදීන් සඳහා ලබා දුන්නේ ලකුණු 6ක් පමණි. මෙහි චාල්ස් පර්චාඩ් (17/5 )  සහ ශකීබ් අල් හසන් ( 20/5 ) බැගින් ලබා ගනිම්න් දෙවැනි හා තෙවැනි ස්ථාන වල පසුවෙයි.
  • කෝලින් මොන්රෝගේ කඩුල්ල දවා ගැනීමත් සමග විස්සයි 20 ක්‍රිකට් ( පිරිමි ) පිටියේ කඩුලු 100ක් ලබාගත් ලොව පළමු පන්දු යවන්නා බවට ඉතිහාසයට එක්විය. කාන්තා ක්‍රිකට්හිදී  අනීසා මොහොමඩ් සහ එල්සි පෙරි මාලිංගට පෙර විස්සයි 20 ක්‍රිකට් පිටියේ කඩුලු 100ක් සම්පූර්ණ කිරීමට සමත්ව ඇත.

 සමීර ගොඩපිටිය

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.