නවසීලන්තය ටෙස්ට් තරගාවලිය සම කරයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර  කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 65ක ජයක් ලැබීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම  අද ( 26 ) සමත් විය.  ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය තරග 1-1 කින් සම කිරීමට නවසීලන්තයට හැකියාව ලැබිණ.

සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 122ක් පමණි. තරගයේ අවසන් දිනය වූ අද ( 26 ) දිනයේදී තරගය නිමාවීමට තවත්  පන්දුවාර 19.4 ඉතිරිව තිබූ අතර එම පන්දුවාර කිහිපය ද ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළ හැකිවූවානම් මෙම තරගය ජය පරාජයෙන් තොරව බේරා ගැනීමට හැකියාව තිබිණ. එහෙත් කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල හැරෙන්නට ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී එකදු පිතිකරුවෙකුටවත් තමන්ගේ කාර්යය කණ්ඩායමට ලබා දීමට අපොහොසත් වීම හේතුවෙන් ඉනිමකින් සහ ලකුණු 65කින් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

<<ලේතම් සහ වොට්ලින් ගොඩ නැගූ ඉනිමට ග්‍රෑන්ඩ්හෝම්ගෙන් තල්ලුවක් – Day 04>>

ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට ලහිරු තිරිමාන්න සහ කුසල් ජනිත් පෙරේරා අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ විය. නායක දිමුත් කරුණාරත්නට දෙවැනි ඉනිමේ ආරම්භක පිතිකරු භූමිකාව මගහැරී යාමත් සමග ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ඇරඹීමට පිටියට පිවිසි ලහිරු තිරිමාන්න සහ කුසල් ජනිත් පෙරේරාට ආරම්භක කඩුල්ල සදහා එකදු ලකුණක්වත් රැස් කිරීමට අජාස් පටෙල් අවස්ථාවක් ලබා නොදුන්නේ, තිරිමාන්න දුවද්දී දැවී යාමකට හසුකර ගනිමිනි. ශ්‍රී ලංකා දෙවැනි කඩුල්ල ද ලකුණු 4ක් තුළදී දවාගත් ට්‍රේන්ට් බෝල්ට් නවසීලන්තයේ ජයග්‍රහණය ඉක්මන් කළේය. බොල්ට්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක බීජේ වොට්ලින්ගේ අතට උඩ පන්දුවක් ලබා දෙමින් කුසල් ජනිත් පෙරේරා දැවී යනවිට එකදු ලකුණක්වත් ලබා නොතිබීම ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීමට ප්‍රබල සාධයක් බවට පත්විය. කුසල් ජනිත් පෙරේරා පළමු ඉනිමේදී ද අසාර්ථක වූ අතර ඔහුට එහිදි එකදු ලකුණක්වත් ලබා ගැනීමට අවස්ථාවක් හිමි නොවීය.

<<ටොම් ලේතම්ගේ ශතකයෙන් නවසීලන්තය සාර්ථක ගමනක – Day 03 >>

ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිවුස් ද ලකුණු 7කට දවා ගැනීමට කෝලින් ද ග්‍රෑන්ඩ්හෝම් සමත් වූයේ ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ලද අහිමි කරමිනි. ඉන් අනතුරුව පිටියට පිවිසි ධනංජය ද සිල්වාට ද පිටියේ ස්ථාවර වීමට අවස්ථාවක් ලබා නොදුන් අජාස් පටෙල් එක් ලකුණක් ලබාසිටියදී පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කලේය. දිවා ආහාරයට විනාඩි 10ක් පමණ තිබියදී කුසල් මෙන්ඩිස් ද ලකුණු 20 ක් ලබා සිටියදී නැවතත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට විලියම් සමර්විල් කටයුතු කළේ ශ්‍රී ලංකා ඉනිමේ සියලුම ආරම්භක පිතිකරුවන් ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත් කරමිනි.

දහවල් දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 5ක් අහිමිව ලකුණු 33ක් ලබා සිටි ශ්‍රී ලංකා දෙවැනි ඉනිමෙන් තේ පානයට පෙර තවත් කඩුලු 2ක් බිද හෙලීමට ටිම් සවුති කටයුතු කලේ නවසීලන්තයට තරගයේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවක් ලබා දෙමිනි.

<<වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනට ද තරගය අතහැර දමයි – Day 02 >>

සාමන්‍යෙයන් දෙවැනි ඉනිම ඉතා හොඳින් ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්නට ද මෙම තරගයේදී 7 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසෙමින් ලබාගත හැකි වූයේ ලකුණු 21ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 75 කට කඩුලු 7ක් බිද වැටී තිබූ අවස්ථාවේ 8 වැනි කඩුල්ල සඳහා එක් වූ නිරෝෂන් දික්වැල්ල සහ සුරංග ලක්මාල් පන්දු 107කට මුහුණ දෙමින් ලකුණු 40ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ. සුරංග ලක්මාල්, විලියම් සමර්විල්ගේ පන්දුවක් හමුවේ බැක්වට් ෂෝට් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි ටොම් ලේතම්ගේ අතට උඩ පන්දුවක් ලබා දීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවද ගිලිහී ගියේය. ශ්‍රී ලංකා ඉනිමේ 8වැනි කඩුල්ල බිද වැටී තවත් ලකුණු 3ක් ශ්‍රී ලංකා ඉනිමට එක්ව තිබියදී නිරෝෂන් දික්වැල්ල ද පිටියෙන් ඉවත් කිරීමට අජාස් පටෙල් කටයුතු කළේය. බැක්වඩ් ෂෝට් ලෙග් කළාපයේ රැදී සිටි ටොම් ලේතම්ට උඩ පන්දුවක් ලබා දී නිරෝෂන් දික්වැල්ල පිටියෙන් ඉවත්ව යනවිට ලකුණු 51 ලබා සිටියේය. ඔහු ටෙස්ට් තරගයකදී වැඩිම පන්දු ප්‍රමණයකට ( 161 )  මුහුණ දුන් ඉනිම ලෙසද මෙය ඉතිහාසයට එක් විය.

පන්දු යැවීමේදී ටිම් සවුති , ට්‍රේන්ට් බෝල්ට්, අජාස් පටෙල් සහ විලියම් සමර්විල් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 244ට පිළිතුරු පළමු ඉනිම ඇරඹූ නවසීලන්ත කණ්ඩායම කඩුලු 6කට ලකුණු 431ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවමින් ශ්‍රී ලංකාවට දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දුන්නේය.

<<දිමුත් වැස්සට අභියෝග කරමින්, දිගු ඉනිමකට සැරසෙයි – Day 01 >>

තෙවැනි දිනයේ සිට පිටියේ රැදී සිටි බීජේ වොට්ලින් සිය 7වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට අද සමත් වූයේ නවසීලන්ත ලකුණු පුවරුව ඉහළට ඔසවා තබමිනි. නවසීලන්ත පළමු  ඉනිම අත්හිටුවන විට බීජේ වොට්ලින් පන්දු 226කදී හතරේ පහර 9ක් සමගින් නොදැවී ලකුණු 105 ක් ලබා සිටියේය. සිව්වන දිනය වූ ඊයේ ( 25 )  තරගය නතර කරන විට ලකුණු 83ක් ලබා සිටි කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්ට අද දිනයේදී ලකුණු ලබා ගැනීමටත් පෙරම පිටියෙන් බවත් කිරීමට ලසිත් ඇඹුල්දෙණිය කටයුතු කළේය.

නවසීලන්ත පළමු ඉනිමේ කොදු නාරටිය බවට පත්වූ ටොම් ලේතම් සිය ටෙස්ට් දිවියේ 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් පන්දු 251කද හතරේ පහර 15ක් සමගින් ලකුණු 154ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා ලකුණු 114කට කඩුලු 3ක් සහ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 156කට කඩුලු 2 බැගින් බිද හෙලූහ.

තරගයේ වීරයා සම්මානය ටොම් ලේතම් දිනා ගනිද්දී, බීජේ වොට්ලින් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය.

<<විස්සයි 20 නායකත්වය මාලිංගට යද්දී, පරණ මුහුණු රැසක් ඉවතට>>

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සැප්තැම්බර් මස 1 වැනිදායින් ආරම්භ වන පළමු විස්සයි 20 තරගයෙන් මෙවර විස්සයි 20 තරගාවලිය ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම  – පන්දුවාර 70.2 කදී සියලු දෙනාදැවී ලකුණු 122 ) 

( කුසල් මෙන්ඩිස් 20, දිමුත් කරුණාරත්න 21, නිරෝෂන් දික්වැල්ල 51, ටිම් සවුති 15/2,ට්‍රෙන්ට් බෝල්ට් 17/2,අජාස් පටෙල් 31/2, විලියම් සමර්විල් 49/2 )

නවසීලන්ත පළමු ඉනිම –  පන්දුවාර 115 කදී කඩුලු 6කට ලකුණු 431

( ටොම් ලේතම් 154, කේන් විලියම්සන් 20, රොස් ටේලර් 23, හෙන්රි නිකල්ස් 15, බීජේ වොට්ලින් නොදැවී 105, කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්  83 , දිල්රුවන් පෙරේ රා 114/3 ,ලසිත් ඇඹුල්දෙණිය 156/2 )

ශ්‍රී ලංකා පළමු ඉනිම – පන්දුවාර 90.2කදී සියලු දෙනා දැවී ලකුණු 244

( දිමුත් කරුණාරත්න 65, කුසල් මෙන්ඩිස් 32, ධනංජය ද සිල්වා 109 , දිල්රැවන් පෙරේරා 13, සුරංග ලක්මාප් 10, ටිම් සවුති 63/4, ට්‍රෙන්ට් බෝල්ට් 75/3 )

තවත් පිටියේ තොරතුරු දැන ගැනීමට පිවිසෙන්න – www.srilankasports.com 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.