සිම්බාබ්වේ පළමු ඉනිම හඹායන ශ්‍රී ලංකා පිල තවත් ලකුණු 284ක් පිටුපසින්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරෙහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මන්දාලෝකය හේතුවෙන් දෙවැනි දිනය වන අද ( 28 ) දිනට තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 122ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම, සිම්බාබ්වේ  පළමු ඉනිමට වඩා තවත් ලකුණු 284ක් පිටුපසින් පසුවෙයි.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 19 සහ ඇන්ජලෝ මැතිවුස් නොදැවී ලකුණු 4ක් ලබා කඩුල්ලේ රැදී සිටියහ.

ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ නායක දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 94ක සබඳතාවයක් ගොඩ නගමින් සිටියදී ලකුණු 44ක් ලබා සිටි දිමුත් කරුණාරත්න පිටියෙන් ඉවත් කිරීමට සිකන්දර් රාසා සමත් විය. ඔහු හා අනෙත් අන්තයේ රැදී සිටි ඕෂධ ප්‍රනාන්දුට රැස්කර ගතහැකි වූයේ ලකුණු 44ක් පමණි.

පළමු දිනය වූ ඊයේ ( 27 ) දිනට තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 352ක් ලබා සිටි සිම්බාබ්වේ ඉනිමට අද දිනයේදී තවත් එක්කර ගතහැකි වූයේ ලකුණු 54ක් පමණි.

නායක ෂොන් විලියම්ස් නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 137කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 10ක් සමගින් ලකුණු 107ක් රැස් කිරීමට සමත් වූයේ සිය ටෙස්ට් දිවියේ දෙවැනි ශතකය මෙන්ම සිම්බාබ්වේ පිල ප්‍රබල තත්ත්වයකයට ඔසවා තබමිනි. ඔහුට අනගි සහයක් ලබාදුන් සිකන්දර් රාසා පන්දු 99කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 72ක් රැස් කිරීමට සමත් විය.

<< DAY 01 – විලියම්ස්ගේ ශතකයෙන් සිම්බාබාව්වේ හිස ඔසවද්දී රාසා සහ ටේලර්ත් ලකුණු අතරට >> 

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ බ්‍රෙන්ඩන් ටේලර් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කරමින් ලකුණු 62ක් රැස් කිරීමට සමත් වූයේ හයේ පහරක් සහ හතරේ පහර 10ක් සිය ගිණුමට එක්කර ගනිමිනි. සිම්බාබ්වේ ඉනිමේ 7 වැනි සහ 8 වැනි පිතිකරුවන් ලෙස පිටියට පිවිසි රෙගිස් චකබ්වා ( ලකුණු 31 ) සහ ටිනොටෙන්දා මුටොම්බොඩසා ( ලකුණු 33 ) බැගින් රැස් කරමින් සිම්බාබ්වේ ලකුණු පුවරුව ලකුණු 400 සීමාවෙන් එපිටතට ගෙන යාමට කටයුතු කළහ.

දග පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය දැඩි ප්‍රහාරයකට ලක් වුවද, සිම්බාබ්වේ පළමු ඉනිමෙන් කඩුලු 4ක් දවාලීමට සමත් වූ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් ධනංජය ද සිල්වා ලකුණු 71කට කඩුලු 3ක් බිද හෙලීය.

හෙට ( 29 ) තරගයේ තෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම – පන්දුවාර 54කදී කඩුලු 2කට ලකුණු 122

( දිමුත් කරුණාරත්න 44, ඕෂධ ප්‍රනාන්දු 44, කුසල් මෙන්ඩිස් නොදැවී 19, ඇන්ජලෝ මැතිවුස් නොදැවී 4 ) 

සිම්බාබ්වේ පළමු ඉනිම – පන්දුවාර 90 කදී සියලු දෙනා දැවී ලකුණු 406

( ෂොන් විලියම්ස් 107, සිකන්දර් රාසා 72, බ්‍රෙන්ඩන් ටේලර් 62, රෙගීස්  චකබ්වා 31, ටිනොටෙන්දා මුටොම්බොඩසා 33, ලසිත් ඇඹුල්දෙණිය 182/4,  සුරංග ලක්මාල් 37/2, ධනංජය ද සිල්වා 71/3 )

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.