ඕස්ට්‍රේලියාව තරග 2 – 0 කින් පාකිස්තානය පරදයි – තරගාවලියේ වැඩි ගෞරවය ඩේවිඩ් වෝනර්ට

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව  ඇඩිලෙයිඩ් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 48ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ( 02 ) සමත් විය. ඒ අනුව තරග 2කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය තරග 2- 0 කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාවට හැකි විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රෙලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 589ක් ලබා සිටියදී සිය අත්හිටුවමින් පන්දුවට පහරදීමේ අවස්ථාව පකිස්තානයට ලබාදුන්නේය.

ඕස්ට්‍රෙලියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සිය ටෙස්ට් දිවියේ මංගල ත්‍රිත්ව ශතකය මෙන්ම තම ටෙස්ට් දිවියේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩා කරමින් පන්දු 418කදී නොදැවී ලකුණු 335ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 39ක් ඇතුළත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් මානස් ලබුෂෙයින් ශතකයකින් සිය ඉනිම වර්ණවත් කර ගනිමින් ලකුණු 162ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ෂයින් ෂා අෆ්රිඩී ලකුණු 88කට කඩුලු 3ක් බිද හෙලීය.

ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 589ට පිළිතුරු පළමු ඉනිම ඇරඹූ පාකිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 302ක් පමණි. 8 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි යසීර් ෂා ප්‍රවේසම්කාරී ඉනිමක් ක්‍රීඩා කරමින් සිය මංගල ටෙස්ට් ශතකය ලබා ගැනීමට සමත් වූයේ සිය ඉනිමට ලකුණු 113ක් එක්කර ගනිමිනි.

පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක් ලකුණු 66කට කඩුලු 6ක් සහ පැට් කමින්ස් ලකුණු 88කට කඩුලු 3 බැගින් බිද හෙලමින් පාකිස්තාන ඉනිම විනාශ කර දැමූහ.

ඕස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 287ක් පිටු පසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ පාකිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 239ක් පමණි. පළමු ඉනිමේදී මිචෙල් ස්ටාක්ගේ පන්දු යැවීම හමුවේ අසරණ වූ පාකිස්තානයට සිය දෙවැනි ඉනිමේදී නේතන් ලයන්ගේ පන්දු යැවීම හමුවේ අසරණ වීමට සුදුවූයේ ඉනිමකින් සහ ලකුණු 48ක පරාජයක් උරුමකර දෙමිනි. එහිදී නේතන් ලයන් ලකුණු 69කට කඩුලු 5ක් බිද හෙලනු ලැබීය.

තරගාවලිය පුරාම පිත්තෙන් දස්කම් දැක්වූ ඩේවිඩ් වෝනර් තරගයේ වීරයා සම්මානයෙන් මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයේන් පිදුම් ලැබීය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.