තරගයක් ඉතිරිව තිබියදී ම නවසීලන්තය විස්සයි 20 තරගාවලිය ජය ගනියි

කෝලින් ඩි ග්‍රෑන්හෝම්ගේ සහ ටොම් බෘස්ගේ විශිෂ්ට සබඳතාවය (109 ) හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි විස්සයි 20 තරගයෙන් කඩුලු 4 ක ජයක් ලැබීමට සත්කාරකාරක නවසීලන්ත කණ්ඩායම අද ( 03 ) සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2-0 කින් තරගාවලිය ජය ගැනීමට නවසීලන්තයට හැකියාව ලැබිණ.

ජයග්‍රහණය සදහා ලකුණු 162 ක ඉලක්කය හඹාගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 19. 4 කදී  කඩුලු 6ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර ගියේය.

නවසීලන්ත ඉනිමේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනාම ලකුණු 38ක් තුළදී නැවතත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ අකිල ධනංජය, ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ගෙන දුන්නද එයට හරස් වූ කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් සහ ටොම් බෘස් තරගයේ වාසිය නැවතත් නවසීලන්තය වෙත හරවා දුන්හ.

සිව්වන කඩුල්ල සඳහා එක් වූ කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් සහ ටොම් බෘස් පන්දු 88කදී ලකුණු 109 සබඳතාවයක් ගොඩ නගමින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

විස්සයි 20 පිටියේ තම දෙවැනි අර්ධ ශතකය ලබාගත් කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් පන්දු 46කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින්  ලකුණු 59 ක් රැස් කිරීමට සමත් විය. රොස් ටේලර් වෙනුවට කණ්ඩායමට එක් වූ ටොම් බෘස් ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් තම විස්සයි 20 පිටියේ මංගල අර්ධ ශතකය ලබා ගනිමින් පන්දු 46 කදී  ලකුණු 53 ක් රැස් කිරීමට සමත් විය. ජයග්‍රහණය සඳහා නවසීලන්තයට අවසන් පන්දුවාරයේදී  ලකුණු 7ක ඉලක්කයක් හිමි වූ අතර එය පහසුවෙන්ම හඹාගිය මිචෙල් සැන්ටර් ඔහු මුහුණදුන් මුල් පන්දු 2න්ම හයේ පහරක් සහ හතරේ පහරක් දියත් කරමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

පන්දු යැවීමේදී අකිල ධනංජය ලකුණු 36කට කඩුලු 3ක් බිද හෙලීමට සමත් වූ අතර ඉසුරු උදාන සහ වනිදු හසරංග අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 161 රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 34ක සබඳතාවයක් ගොඩ නගමින් සිටියදී ලකුණු 26ක් ලබාසිටි කුසල් මෙන්ඩිස් පිටියෙන් ඉවත් කිරීමට ටිම් සවුති කටයුතු කළේය.  පළමු තරගයේදී මෙන්ම මෙම තරගයේද ද සුපුරුදු දක්ෂතා අතරට ඒමට අවස්ථාවක් හිමි නොවූ කුසල් ජනිත් පෙරේරාට පන්දු 10 කදී ලබාගත හැකි වූයේ ලකුණු 11ක් පමණි.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 40 ක් තුළදී පිටියෙන් ඉවත් වීමත් සමග පිටියේ එක්වූ නිරෝෂන් දික්වැල්ල සහ අවිශ්ක ප්‍රනාන්දු තෙවැනි කඩුල්ල සඳහා පන්දු 44 කදී ලකුණු 68ක  සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබූහ.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නිරෝෂන් දික්වැල්ල පන්දු 30 කදී හයේ පහරක් හා හතරේ පඑර 3ක් සමගින් ලකුණු 39 ලබා ගැනීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 37ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී සිත් රේන්ස් ලකුණු 33කට කඩුලු 3ක් බිද හෙලද්දී, ටිම් සවුති සහ ස්කොට් කුග්ලෙජින් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සමගින් අද තරගයට පිවිසෙන අතර, ඒ අනුව පළමු තරගයේදී ක්‍රීඩාකළ කසුන් රාජිත වෙනුවට ලක්ෂාන් සඳකැන් කණ්ඩායමට එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගත්තේය. පළමු තරගයේදී නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය රොස් ටේලර් පාදයේ ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර ඔහු වෙනුවට ටොම් බෘස් කණ්ඩායමට එක්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම – පන්දුවාර 20 අවසානයේ කඩුලු 9කට ලකුණු 161

(කුසල් මෙන්ඩිස් 26, කුසල් ජනිත් පෙරේරා 11, අවිශ්ක ප්‍රනාන්දු 37, නිරෝෂන් දික්වැල්ල 39, ෂෙහාන් ජයසූරිය 20, ඉසුරු උදාන 11, සිත් රේන්ස් 33/3, ටිම් සවුති 18/2, ස්කොට් කුග්ලෙජින් 38/2 )

නවසීලන්ත කණ්ඩායම – පන්දුවාර 19.4 කදී  කඩුලු 6 කට ලකුණු 165

( කෝලින් මන්රෝ 13, ටිම් සයිෆර්ට් 15, කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් 59, ටොම් බෘස් 53 , අකිල ධනංජය 36/3 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.