පළමු විස්සයි 20 තරගයේ ජය නවසීලන්තයට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි 20 තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම අද ( 01 ) සමත් විය. ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි 20 තරගාවලිය තරග 1-0 කින් පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 175ක ඉලක්කය හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයන් පන්දුවාර 19.3 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී සිය ජයග්‍රහණය සිනිටුහන් කළේය.

රොස් ටේලර්ගේ හා ග්‍රෑන්ඩ්හෝම්ගේ දැවී යාමෙන් පසු පිටියේ එක් වූ ඩැරල් මිචෙල්  ( නොදැවී 25 ) සහ මිචෙල් සැන්ටර් ( නොදැවී 14 ) ලබා නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

තරගයේ 10 වැනි පන්දුවාරය තෙක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් තමන්ගේ උපරිමය කණ්ඩායමට දීමට කටයුතු කළද, 11 වැනි පන්දුවාරයේදී කසුන් රාජිතගේ පන්දුවාරයට ලකුණු 17ක් සහ අකිල ධනංජයගේ පන්දුවාරයට ලකුණු 17 බැගින් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබූ වාසිය නවසීලන්තය වෙත හරවා දීමට රොස් ටේලර් සහ ග්‍රෑන්ඩ්හොම් කටයුතු කළහ. ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද එය නිසියාකාරව කළමණාකරණය කිරීමට නොහැකි වීමත්, පන්දුවාර 10 න් පසු පිටියේ පන්දු රැකීමේදී සිදු වූ අතපසු වීම් හේතුවෙන් තරගයේ ජයග්‍රහණය ක්‍රම ක්‍රමයෙන් නවසීලන්තය වෙත බරවිය.

අවස්ථා දෙකකදීම රොස් ටේලර් විසින් උඩ පන්දු ලබා දුන්න ද එම අවස්ථා දෙකේදීම එය රැක ගැනීමට දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුව ද ගිලිහී ගියේය.

වර්ෂාව හේතුවෙන් තරගය මද වේලාකට නවතා දැමීමට සිදු වූ අතර ඒ වනවිට නවසීලන්තයට ඩක්වත් ලුවිස් න්‍යායාට අනුව ලබාගත යුතුව තිබුණේ ලකුණු 139ක් පමණි. එහෙත් ඔවුන්  ඒ වනවිටත් කඩුලු 5කට ලකුණු 144ක් ලබා පෙරමුණ ගෙන සිටියේය. නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රොස් ටේලර් පන්දු 29 හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වූයේ නවසිලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කරමිනි.  ඔහුට අනගි සහයක් ලබාදුන් කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් පන්දු 28 කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 44ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ලසිත් මාලිංග සහ වනිදු හසරංග ඇරෙන්නට සෙසු පන්දු යවන්නන් සියලු දෙනාට උපරිමයෙන් සංග්‍රහ කිරීමට නවසීලන්ත ක්‍රීඩකයෝ ක්‍රියා කළහ. කෝලින් ඩි ග්‍රෑන්ඩ්හොම්ගේ කඩුල්ල දවාගත් ලසිත් මාලිංග විස්සයි 20 පිටියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට සමත් වූයේ ෂයිඩ් අෆ්රිඩි එම සටහනේ දෙවැනි තැන දක්වා ඇද දමමිනි. තම මංගල විස්සයි 20 වරම් හිමිකර ගත් වනිදු හසරංග ද සිල්වා ලකුණු 21කට කඩුලු 2ක් බිද හෙලීමට සමත් විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුව පහර දීමට තීරණය කළ අතර ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 174ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම ඇරඹීමට පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස්ට සාර්ථක සබඳතාවයක් ගොඩ නැගීමට අවස්ථාව ලබා නොදුන් ටිම් සවුති ලකුණු 11 ක් ලබා සිටි කුසල් ජනිත් පෙරේරා පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කළේය. ඉන් අනතුරුව පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දුට ද මිචෙල් සැන්ටර්ගේ පන්දුවක් හමුවේ දැවී යනවිට රැස්කර ගතහැකි වූයේ ලකුණු 10ක් පමණි.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබීමට කටයුතු කළේය. ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ මාටින් ගප්ටිල්ගේ අතට උඩ පන්දුවක් ලබා දෙමින් පිටියෙන් ඉවත්ව යනවිට පන්දු 53 කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 79ක් ලබා ගැනීමට සමත් විය. එය කුසල් මෙන්ඩිස් විසින් විස්සයි 20 ක්‍රිකට් පිටියේ ලබාගත් වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙස ද සටහන් විය.  ඔහුට අනගි සහයක් ලබාදුන් නිරෝෂන් දික්වැල්ල පන්දු 25 කදී හතරේ පහර 2ක් සමගින් ලකුණු 33ක් රැස් කිරීමට සමත් විය. අවසන් පන්දුවාරයේදී පිටියට පිවිසි ඉසුරු උදාන පන්දු 3කට පමණක් මුහුණ දෙමින් හයේ පහර 2ක් සමගින් නොදැවි ලකුණු 15ක්  රැස් කිරීමට සමත් වූයේ නවසීලන්තයට අභියෝගාත්මක ලකුණු පුවරුවක් ලබා දෙමිනි.

පන්දු යැවීමේදී ටිම් සවුති ලකුණු 20කට කඩුලු 2ක් සහ මිචෙල් සැන්ටර් ලකුණු 22 කට එක් කඩුල්ල බැගින් ලබා ගත්හ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.