සාග් දිනුවන්ට අගමැති අතින් හරසර

නේපාලයේ කත්මණ්ඩු සහ පොකාරා කේන්ද්‍ර කරගනිමින් පැවැති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී දස්කම් දක්වමින් ශ්‍රී ලංකාව පදක්කමින් සැරසූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ සහභාගිත්වයෙන් අද (14) පස්වරු 5.30ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වේ.

මෙහිදී පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික ක්‍රීඩා අරමුදල මඟින් මුදල් ත්‍යාග ද පිරිනැමේ. එහිදී රන් පදක්කමක් සඳහා රුපියල් ලක්ෂ 5ක්, රිදී පදක්කමක් සඳහා රුපියල් ලක්ෂ 3ක් සහ ලෝකඩ පදක්කමක් සඳහා රුපියල් ලක්ෂ 2ක මුදලක්ද පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර පදක්කම් දිනාගත් ක්‍රීඩකාවන්ගේ පුහුණුකරුවන් ද ඇගයීමට ලක් කෙ⁣රේ.

දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව වාර්තා වූ මෙවර ක්‍රීඩා උළෙලේදී සමස්ත පදක්කම් සංඛ්‍යාව 251ක් විය. ඊට රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 83ක් සහ ලෝකඩ පදක්කම් 128ක් ඇතුළත් විය. වසර 1991දී කොළඹ පැවැති 5 වැනි ක්‍රීඩා උළෙලෙන් පසුව වැඩිම රන් පදක්කම් දිනාගත් අවස්ථාව විය. එවර ශ්‍රී ලංකාවට රන් පදක්කම් 44ක් හිමිව තිබිණි.

එහිදී මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 15ක් දිනාගත් අතර වසර 28කට පසුව මලල ක්‍රීඩාවෙන් ඉන්දියාව අබිබවා රන් පදක්කම දිනා ගැනීමද කැපී පෙනෙන සිදුවීමක් විය.

මෙවර දිනාගත් රන් පදක්කම් 40 සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 49 දෙනකු දායකවූහ. ඊට තනි ඉසව්වන්ගෙන් දිනාගත් පදක්කම් 29ක් සහ කණ්ඩායම් ඉසව්වලින් පදක්කම් 11ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම රන් පදක්කම් දිනාගත් ක්‍රීඩකයා බවට පිහිනුම් ශූර මැතිව් අබේසිංහ පත්විය. ඔහු රන් පදක්කම් 7ක් දිනා ගත්තේ කේවල ඉසව්වන්ගෙන් 6ක් සහ සහාය ඉසව්වකිනි.

මලල ක්‍රීඩා ඉසව්වන්ගෙන් දිල්ෂි කුමාරසිංහ, නිලානි රත්නායක කේවල ඉසව්වන්ගෙන් රන් පදක්කම 2 බැගින් දිනාගත් අතර දිල්ෂි මීටර් 400 සහාය ඉසව්වේ රන් පදක්කම දිනාගත් කණ්ඩායමේ සාමාජිකාවක්ද වූවාය. ලක්ෂිකා සුගන්ධි, සාරංගි සිල්වා සහ අරුණ දර්ශන රන් පදක්කම් 2කට හිමිකම් කීවේ සහාය ඉසව්වන්ටද එක්වෙමිනි. ටයිකොන්ඩෝ ඉසව්ව නියෝජනය කළ රනුක ප්‍රභාත් පුම්සේ කේවල සහ යුගල ඉසව්වල රන් පදක්කම් දිනාගත් අතර ග්‍රේස් යටවර ගෝල්ෆ් ඉසව්වේ කාන්තා කේවල සහ කණ්ඩායම් රන් පදක්කම්වලට හිමිකම් කීවාය.

හිරුණි විජේරත්න (මැරතන්), හසිනි ප්‍රබෝධා (තුන්පිම්ම), දිල්හානි ලේකම්ගේ (හෙල්ල විසිකිරීම), දිල්හානි වීරබාහු සහ අයෝමි සෙනෙවිරත්න (මල්ලවපොර), වයි.ඩී.අයි.කුමාර සහ එච්.ඩබ්.ටී.එන්.බී.ජේ.හපුතැන්න (බර ඉසිලීම), තරිඳු නාමල් අනුරාධ සහ එම්.එල්.ඩී.ටී.එස්.ගුණසේකර (වුෂූ), එරංගා දිල්රුක්ෂි (ද්වි ප්‍රයාම), චාමර නුවන් (ජූඩෝ) සහ රුමේෂ් සඳකැලුම් තනි ඉසව්වන්ගෙන් රන් පදක්කම් දිනා ගත්හ. මීටර් 100 සහාය ඉසව්වෙන් වසර 15ක් පැරණි දකුණු ආසියානු වාර්තාවක් අලුත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ හිමාෂ ඒෂාන්, විනෝජ් සුරංජය, යුපුන් ප්‍රියදර්ශන සහ චානුක සන්දීප සමත්වීම කැපී පෙනුණි.

මීටර් 100 කාන්තා, මීටර් 400 සහාය පිරිමි සහ කාන්තා, වෙරළ වොලිබෝල්, බැඩ්මින්ටන් යුගල කාන්තා, ගොල්ෆ් කාන්තා කණ්ඩායම්, පිහිනුම් මීටර් 100 නිදහස් ආර, ටයිකොන්ඩෝ පුම්සේ මිශ්‍ර යුගල සහ අවුරුදු 23ට වැඩි පිරිමි කණ්ඩායම් තරගවලින්ද ශ්‍රී ලංකාවට රන් පදක්කම් හිමිවිය.

මෙවර ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 564ක් සහභාගි වූහ.

මේ අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, ක්ෂෙත්‍රයේ ප්‍රවීණ පුහුණුකරුවන්, කණ්ඩායම් පුහුණුකරුවන්, සම්භාහකවරුන්, භෞතචිකිත්සකවරු, අභ්‍යාසකවරු, ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනාගත් ජාතික සංගම්වල සභාපති, ලේකම් සහ කළමනාකරුවන් සහභාගීවීමට නියමිතය.

නිරෝෂාන් ප්‍රියංකර

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.