ජාතික බැඩ්මින්ටන් ශුරතාවයේ ජයග්‍රාහකයන්ට මිලියනයක් වටිනා ත්‍යාග

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලබන 67 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය සහ 37 වැනි ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය ඇරැඹෙයි. ඊයේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී ඇරැඹුණු මේ තරගාවලිය දින 6ක් පුරා පැවැත්වෙයි. ඉතිහාසයේ පළමුවරට ජයග්‍රාහකයන්ට රුපියල් මිලියනක මුදල් තෑගි බෙදා දෙන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග වදිති.

පාසල් බැඩ්මින්ටන් සංගමයේ ද සහයෝගය ඇතිව සංවිධාන කෙරෙන මේ ශූරතා ද්විත්වය වසරේ බැඩ්මින්ටන් කාලසටහනේ ප්‍රමුඛතම තරගාවලි වන අතර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සමාරම්භක උත්සවය පැවැත්විණි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා සහ පාසල් බැඩ්මින්ටන් සංගමයේ සභාපති සම්පත් වේරගොඩ මහත්වරු ඇතුළු අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක්වූහ.

ජාතික බැඩ්මින්ටන් ශුරතාවලිය කාණ්ඩ 24ක් යටතේ පැවැත්වෙන අතර කාණ්ඩ 18ක් යටතේ කනිෂ්ඨ තරගාවලිය පැවැත්වෙයි.

විවෘත තරග ඉසව්වට අමතරව අවුරුදු 23න් පහළ, අවුරුදු 35න් ඉහළ, 40, 45, 50, 55, 60, 65 සහ 70න් ඉහළ පිරිමි හා කාන්තා ඒකල තරග තරග පැවත්වෙන අතර අවුරුදු 40න් ඉහළ, 45, 50, 55, 60, 65 සහ 70න් ඉහළ පිරිමි හා කාන්තා යුගල තරග ද පැවැත්වෙයි. කැප්ෂන්

වයස් කාණ්ඩ 5ක් යටතේ අවුරුදු 18න් පහළ සිට කනිෂ්ඨ තරග පැවැත්වෙන අතර ඊට අවුරුදු 11න් පහළ, 13න් පහළ, 15න් පහළ 17න් පහළ සහ 19න් පහළ බාලක හා බාලිකා ඒකල තරග ද, අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ බාලක හා බාලිකා යුගල තරග ද පැවැත්වීමට නියමිතය.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.