රග්බි ක්‍රීඩක තිලිණ විජේසිංහට තාවකාලික තහනමක්

තහනම් උත්තේජන භාවිත කිරීමේ චෝදනාවකට හසුවීමෙන් මහනුවර ක්‍රීඩා සමාජයේ ෆුල් බෑක් ක්‍රීඩක තිළිණ විජේසිංහට තාවකාලික තරග තහනමක් පනවා ඇතැයි වාර්තා වෙයි.

මීට මාස තුනකට පමණ පෙර ජාතික කණ්ඩායමේ පුහුණුවීම් අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජන මර්දන නියෝජිතායතනයේ නිලධාරින් විසින් සිදු කරන ලද තහනම් උත්තේජන පරීක්ෂණයකට අහඹු ලෙස තෝරාගෙන තිබූ තිළිණ විජේසිංහගේ රුධිර සාම්පලයේ තහනම් උත්තේජන සංඝටක අඩංගුවී ඇතැයි පසුගියදා අනාවරණය වී තිබේ.

තිළිණ විජේසිංහ ඒ වනවිටත් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට ක්‍රීඩා කරමින් සිටි අතර ඔහුගේ රුධිර සාම්පලයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව පසුගිය සතියේ පොලිස් පිල සමග පැවැති තරගයෙන් ඉවත්ව සිටි බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ චෝදනාව සම්බන්ධව තිළිණ විජේසිංහ වරද පිළිගෙන ඇතැයි ද, ඔහුගේ ප්‍රතිඵලය තහනම් උත්තේජන මර්දන නියෝජතායතනයේ විනය කමිටුවට යොමු කර ඇතැයි ද එම ආයතනයේ ප්‍රකාශකයකු ‘දිනමිණ’ට පැවැසීය. නත්තල් සහ නව වසරේ නිවාඩු සමය බැවින් ලබන වසරේ මුල් සතියේදී විනය කමිටුව මේ පිළිබඳ පරීක්ෂණය පවත්වනු ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩි දුරටත් කීවේය.

යම්කිසි ක්‍රීඩකයකු දැන හෝ නොදැන ඔහුගේ ශරීරයට තහනම් උත්තේජන ඇතුල්විය හැකි බවත්, ඒ පිළිබඳ විනය කමිටුව මගින් ගන්නා තීරණයට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ අයිතිය ඔහුට ඇති බවත් තහනම් උත්තේජන මර්දන නියෝජතායතනයේ ප්‍රකාශකයා දිනමිණට කීවේය. එසේ වුවත් විනය කමිටුවේ තීරණය ප්‍රකාශයට පත්වනතුරු තිළිණ විජේසිංහට ලීග් රග්බි තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවනු ඇත.

මේ පිළිබඳ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ උප සභාපති නසීම් මොහොමඩ් මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ එම චෝදනාව තහවුරු වීමෙන් පසුව තිළිණ විජේසිංහට තාවකාලික තරග තහනමක් පනවා ඇති බවයි. කෙසේ වුවත් ලබන වසරේ මුල් සතියේදී ශ්‍රී ලංකා තහනම් උත්තේජන මර්දන නියෝජිතායතනයේ විනය කමිටුව රැස්වීමෙන් පසුව ඒ පිළිබඳ අවසන් තීරණය ගනු ඇතැයි ද, ජාත්‍යන්තර රග්බි සම්මේලනයේ නීතිරීතිවලට අනුව ඔහුගේ තරග තහනමේ කාල සීමාව තීරණය කෙරෙනු ඇතැයි ද ඔහු වැඩි දුරටත් කීවේය. කෙසේ වුවත් පරීක්ෂණ මට්ටමේ ඇති බැවින් එම සිදුවීම පිළිබඳ වැඩි තොරතුර ප්‍රකාශ කළ නොහැකි බව ද නසීම් මොහොමඩ් මහතා කියා සිටියේය. මහනුවර ක්‍රීඩා සමාජය මෙවර අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අපරාජිතව පෙරමුණේ පසුවන අතර තිළිණ විජේසිංහ වෙනුවට මේ වනවිට තරින්ද රත්වත්ත එම ස්ථානයේ ක්‍රීඩා කරමින් සිටී.

දිනමිණ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.