මුතුගල හේතු දක්වයි

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ කාර්ය භාරය පිළිබඳ අඩුවැඩි නොමැතිව විවිධ පාර්ශ්ව විසින් පළ කරනු ලැබූ අදහස් හා විවේචනවලට පිළිතුරු සපයමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල  නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවට මෙතෙක් ජාත්‍යන්තර තලයකදී ලබාගන්නා ලද වැඩිම පදක්කම් ප්‍රමාණය ලැබුණු මේ ක්‍රීඩා උළෙලේ දී ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරින් කටයුතු කළ ආකාරය පැහැදිලි කරමින් මුතුගල මහතා එම නිවේදනය නිකුත් කර තිබේ.එම නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.

සත්‍ය වශයෙන්ම අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලැබූ මේ ජයග්‍රහණය ඉබේ පහල වූවක් නොව සියලු දෙනාගේම සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බව කියා සිටීම වැදගත්ය.

සාග් තරඟාවලියේ ආරම්භක දින කිහිපය තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් විවිධ රෝගාබාධ වලින් පෙලෙන තත්වයක් තුළ ඔවුන්ගේ සුවපහසුව සොයාබලමින් නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව ඔවුන් කළ කැපකිරීම වෙනුවට ඔවුන් වෙත විවිධ චෝදනා එල්ල කිරීම අතිශය කණගාටුදායකය. විශේෂයෙන්ම විභාග දෙපාර්තමේන්තුව විසින් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනෙකුට කත්මණ්ඩු තානාපති කාර්යාලයේ දී විභාගයට පෙනී සිටීමට අවසර ලබා දී තිබූ අතර, ඔවුන් විවිධ ඉසව් නියෝජනය කිරීම, විවිධ ස්ථානවල පුහුණු කටයුතු සිදු කිරීම, අදාළ තරඟ විවිධ ස්ථානවල තිබීම හා එම ස්ථාන තානාපති කාර්යාලයට ඉතා දුරින් පිහිටා තිබීම නිසා විභාග පැවැත්වෙන නියමිත වේලාවට එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් කුලී රථ මඟින් රැගෙන යෑම සහ රැගෙන ඒම ද සිදු කළේය.

අමාත්‍යංශ ලේකම්වරයාගේ නිර්දේශය මත මා ඇතුළු කණ්ඩායමක් පූර්වයෙන් නේපාලයට ගිය අතර අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නවාතැන් සහ පුහුණු ස්ථාන සොයාගැනීම සිදු කෙරිණ. එහෙත් ජාතික ඔලිම්පික් කමිටුව කියා සිටියේ ආසියාතික ඔලිම්පික් කමිටුවෙන් පමණක් ලබා දෙන නේවාසිකාගාර ස්ථාන වල අප රැඳී සිටිය යුතු බවයි. එහෙත් නේපාලයේ පවත්නා අයහපත් කාළගුණික තත්ත්වය පිළිබඳව අප දැනුවත් වූ අතර එහිදී ඇතිවිය හැකි තත්ත්වයන්ට මුහුණදීම පිළිබඳ දෙපාර්තමේන්තුවේ ගණන් දීමේ නිලධාරීවරයා වන මමත් ප්‍රධාන ගණකාධිකාරීවරයාත් සංචාරක වීසා කාඩ්පත් රැගෙන ගිය බව දන්වා සිටීමට කැමැත්තෙමු. අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඩෙංගු ඇතුළු විවිධාකාර රෝගාබාධයන්ට සුනාමියක් සේ ගොදුරු වන විට ඔවුන් ගුවන් මගින් ගෙන්වා ගැනීමටත් රෝහල්ගත කිරීමටත් අපට හැකි වුණේ මෙසේ රැගෙන ගිය මුදල් වලිනි.

එසේම අප අනුග්‍රහය දැක්වූ මාධ්‍යවේදීන්ගේ හෝටල් බිලද , ඔවුන්ගේ දිවා සහ රාත්‍රී ආහාර සඳහා වන දීමනාවන් ද, අප පොරොන්දු වූ පරිදි ගෙවා දැමුවේ එම කාඩ්පතිනි. ඒ හැර මෙම කාඩ්පත් කිසිදු පුද්ගලික පරිහරණයකට භාවිතා නොකළ අතර එහි එක් කාඩ්පතක් කිසිඳු වියදමකට ලක් නොකර එසේම පවතී.

පැවති අයහපත් කාළගුණික තත්ත්වය නිසා මාස්ක් (මුහුණු ආවරණ) 8000 ක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර බෙදා දීමද සිදු කෙරිණි. ඩෙංගු රෝගයෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ එක් ක්‍රීඩිකාවක් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට අප විසින් වෛද්‍යවරයෙක්, ගණකාධිකාරීවරයෙක්, පුහුණුකරුවෙක් සහ සාග් මෙහෙයුම් කාර්යාල නිලධාරි‍යෙක් කත්මණ්ඩු නුවර රඳවා තැබීමට ද කටයුතු කළෙමු.

කෙසේ වුවත් අපත් සමඟ රැඳී සිටීමින් අපව ධෛර්යමත් කළ සියළු මාධ්‍යවේදීන්ට මාගේ කෘතඥතාවය ද පිළිගන්වමි. එසේම විවිධ බාධක තර්ජන මැද අප ලබාගන්නා මෙම ජයග්‍රහණය ඊළඟ ආසියානු ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් 100 ක ඉලක්කය හඹා යෑමට පෙළගස්වන බව කාරුණිකව දන්වමි.

Email Facebook0 Twitter  Pinterest0 WhatsApp Viber 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.