පිතිකරණ ලැයිස්තුවේ වෙනස්කම් සමඟින් ශ්‍රී ලංකාව හෙට ‘පිණ්ඩි’ සටනට

පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ නායකත්වයෙන් යුතුව 1991 වසරේදී පැවැති ටෙස්ට් තරගාවලිය පරාජයට පත් වීමෙන් පසු ගෙවී ගිය විසි හත් වසර ඇතුළත ටෙස්ට් තරගාවලි පරාජයක් ලබා නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම එම අපරාජිත වාර්තාවේ ආධිපත්‍ය තවදුරටත් දීර්ඝ කර ගැනීමේ අරමුණ ඇතිව හෙට (11 දා) රාවල්පිණ්ඩි හි ‘පිණ්ඩි’ ක්‍රිකට් ක්‍රීඩාගණයේදී පාකිස්තානු පිල මුණ ගැසෙනු ඇත. හෙට තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 10.15 ට ආරම්භ වීමට නියමිතය.

දස වසරකට පසු පාකිස්තානයට ටෙස්ට් සිරිය කැඳවමින් පැවැත්වෙන මෙම තරගය බොහෝ විට වේග පන්දු යවන්නන්ගේ තරගයක් වනු ඇති බවට අනුමාන කර ඇති බැවින් දෙපිළම සිය වේග පන්දු බල ඇණිය ශක්තිමත් කරමින් තරගයට අවතීර්ණවීමේ අපේක්ෂාවෙන් සිටිති.

පිණ්ඩි ක්‍රීඩාංගණය අවට ප්‍රදේශය තුළ පවතින සෙල්ෂියස් අංශක 9 ත් 12 ත් අතර ශීත කාගුණික තත්ත්වය යටතේ කණ්ඩායම් දෙකම අද උදෑසන කාලය ඇතුළත සිය පුහුණුවීම් වල නිරත වූහ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉස්ලමාබාද් නුවරට පැමිණ පැය 48 ක කාලයක් ඇතුළත පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට සිදුවීම එම දේශගුණික තත්ත්වයන්ට හුරුවීම තරමක ගැටළුකාරීත්වයක් ගෙන දෙන නමුත් ඒ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සඳහන් කරන්නේ වෘත්තීය ක්‍රීඩකයින් ලෙසින් එවැනි අභියෝගයන්ට හුරුවිය යුතු බවයි.

“අපි පාකිස්තානයට ඇවිල්ලා දින 2 ක් ඇතුළත තරගයට ක්‍රීඩා කළත් පුහුණුවීම් කරන්න පුලුවන් වුණේ අද දිනයේ විතරයි. ඒත් මම විශ්වාස කරනවා වෘත්තීය ක්‍රීඩකයින් විදියට අපිට ඒ තත්ත්වයන්ට ඉක්මනින් හුරුවිය හැකියි කියලා. ඇත්තටම අද අපි හොඳ පුහුණු සැසියක නිරත වුණා. මම විතරක් නොවෙයි කණ්ඩායමේ අනික් ක්‍රීඩකයින් මේ තණතීරු සහ කාලගුණය ගැන හොඳ අවබෝධයක් අද දිනය තුළ ලබා ගත්තා”යි පැවැසීය.

තරගයේ ප්‍රධාන වාසීන් අතර තණතීරුවේ දායකත්වය වැඩි දායකත්වයක් ලබා දෙන බැවින් තණතීරුවේ හැසිරීම අනුව දෙපිළම සිය ශක්තීන් යෙදවීමේ අභිලාෂයෙන් පසුවෙති. හෙට තරගය වෙනුවෙන් සකස් කර ඇති පිණ්ඩි තණතීරුව තණකොල සහිතව සකස් කර තිබෙනු දක්නට ලැබුණි. එහෙත් සත්කාරක පිලේ වාසිය අනුව සැකසෙන බැවින් තණතීරුවේ තණකොල සහිතව යන්වාද නැද්ද යන්න අවසන් තීරණය පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සතුව තිබේ.

ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ දෙපිළම තරග වදිනු ලබන දෙවැනි තරගාවලිය වන්නේ හෙටින් ආරම්භ වන ටෙස්ට් තරගාවලිය වන බැවින් තරගාවලිය සාර්ථකව අවසන් කොට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීම දෙපිළේම ප්‍රධාන බලාපොරොත්තුව බවට පත්ව තිබේ. ටෙස්ට් ශූරතාවලිය යටතේ දෙපිළම ටෙස්ට් තරග 2  බැගින් ක්‍රීඩා කොට ඇතත් ඉන් එක් තරගයක් ජය ලබා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම පමණි. එබැවින් ප්‍රසාද ලකුණු 60 ක් සහිතව ශ්‍රී ලංකා කණ්ඩායමද ඔස්ට්‍රේලියාව සමඟ තරග වැදි ටෙස්ට් තරග 2 ම පරාජයට පත් වුණු පාකිස්තානය ප්‍රසාද ලකුණු රහිතවද හෙට තරගයට අවතීර්ණ වනු ඇත. අදාළ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට සිව්වැනි තැන වෙන්වී තිබෙන අතර ප්‍රසාද ලකුණු නොමැති වුවද දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත පාකිස්තානු පිල එම සටහනේ 7 වැනි ස්ථානයේ රැඳී සිටියි.

ශ්‍රී ලංකාව

අද දිනයේ පැවැති තත්ත්වයන් ට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් සංයුතිය පිළිබඳව දළ අදහසක් ඊයේ දහවල් වන විටත් ගෙන තිබුණත් පිණ්ඩි තණතීරුව අවසන් දින දෙකේදී දඟ පන්දු යවන්නන්ට උචිත වන අයුරින් හැසිරෙන බැවින් වේග පන්දු යවන්නන් 3 දෙනෙකු සමඟ දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සමඟ සහ දිල්රුවන් පෙරේරාව ක්‍රීඩා කරනවාද නොඑසේ නම් වේග පන්දු යවන්නන් දෙදෙනකු සහ දඟ පන්දු යවන්නන් තිදෙනකු සමඟ අවතීර්ණ වනවාද යන්න තීරණය කිරීම හෙට උදෑසන තෙක් කල් දැමීමට කලමනාකාරීත්වයට සිදුව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම තුළ කඩුලු රකින්නන් සිව් දෙනෙකු ඇතුළත් වුණත් හෙට තරගයේ කඩුලු රැකීමේ කාර්යය නිරෝෂන් දික්වැල්ල විසින් සිදු කරනු ඇත. කෙසේ වෙතත් නවසීලන්තයට එරෙහි තරගාවලියට ඇතුළත් වුවද එහෙත් ක්‍රීඩා කිරීමට වරම් නොලද දිනේෂ් චන්දිමාල්ට හෙට තරගයේදී ස්ථානයක් වෙන්වී තිබෙන බව දහවල් පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි දිමුත් ස්ථීර කර සිටියේය.

“ඇත්තටම චන්දි (දිනේෂ් චන්දිමාල්) හෙට තරගයට ක්‍රීඩා කරනවා. ඔහු කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම ඉන්න ක්‍රීඩකයෙක්. ඒ අත්දැකීම් අපි ප්‍රයෝජනයට ගත යුතුයි”යැයි සඳහන් කර සිටියේය. ඒ අනුව චන්දිමාල් ටෙස්ට් තරගයකට පිවිසෙන්නේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉකුත් පෙබරවාරියේ පැවැති ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් අනතුරුවය.

හෙට තරගයේදී චන්දිමාල්ට ස්ථානයක් වෙන් වන්නේ නම් නිසැකයෙන්ම ඒ කුසල් පෙරේරාගේ ස්ථානය වනු ඇත. මේ අතර ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භ කිරීම සඳහා ඕෂධ ප්‍රනාන්දුව යෙදවීම කෙරෙහි ශ්‍රී ලංකා කළමනාකාරීත්වය තීරණයකට එළැඹ තිබේ. එසේ වුවහොත් නවසීලන්තය සමඟ පැවැති තරගාවලියට ක්‍රීඩා කළ ළහිරු තිරිමාන්නට කණ්ඩායමේ ස්ථානය අහිමිව යනු ඇත.

ශ්‍රී ලංකා පිල – 1. දිමුත් කරුණාරත්න, 2. ඕෂධ ප්‍රනාන්දු, 3. කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. දිනේෂ් චන්දිමාල්, 6. නිරෝෂන් දික්වැල්ල, 7. ධනංජය ද සිල්වා, 8. දිල්රුවන් පෙරේරා, 9. විශ්ව ප්‍රනාන්දු, 10. කසුන් රජිත, 11. ළහිරු කුමාර.

ආතර්ගේ දැනුමෙන් 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙසින් පත්ව සිටින මිකී ආතර් ඉකුත් අගෝස්තුව වන තෙක්ම පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කර තිබෙන බැවින් පාකිස්තානයේ තණතීරු හැසිරෙන ආකාරය, එම ක්‍රීඩකයින් මෙන්ම ඔවුන්ගේ උපක්‍රම පිළිබඳව ඔහු තුල ඇත්තේ හසල දැනුමකි. ඒ සියල්ල ප්‍රයෝජනයට ගනිමින් අද දිනයේදී සෑම පිතිකරුවකුම සිය දැල් පුහුණුවීම්වල නිරත වූයේ ආතර්ගේ අනුදැනුම ලබමිනි.

පුරා හෝරා 4 කට ආසන්න කාලයක් ආතර් සමඟ පිණ්ඩි ක්‍රීඩාංගණයේ සිය පුහුණුවීම් සිදු කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ආතර්ගෙන් ඉතා හොඳ ඔවදන් රැසක් ලැබුණු බවද ශ්‍රී ලංකා නායකයා අදාළ මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටියේය. “ඇත්තටම මිකීගෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම මේ තරගාවලියට. මොකද ඔහු ඉකුත් වසර 3 දීම පාකිස්තානය සමඟ කටයුතු කළ නිසා ඔහුට ඒ පිළිබඳව ගොඩක් දැනුම තියෙනවා”යි දිමුත් පැවැසීය.

කළුවර වුණොත් විදුලි ආලෝකය 

තරගය පැවැත්වෙන පිණ්ඩි ක්‍රීඩාංගණය අවට පවතින කාලගුණ තත්ත්වය අනුව වේලාසනම අඳුරු බර කාලගුණය පැමිණීමේ අවධානමක් උද්ගත වී ඇති බැවින් සාමාන්‍යයෙන් ටෙස්ට් තරගයක් ආරම්භ කෙරෙන කාලයට වඩා මිනිත්තු 15 කට පෙර තරගය ආරම්භ කිරීමට තරග තීරකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති නායකත්ව සාකච්ඡාවේදී තීරණය වී තිබේ. ඒ අනුව හෙට තරගය පාකිස්තානු වේලාවෙන් පෙ.ව. 9.45 ට හෙවත් ශ්‍රී ලංකා වේලාටවෙන් 10.15 ට ආරම්භ වීමට නියමිතය.

මේ අතර යම් ලෙසකින් තේ පානයෙන් පසුව පැවැත්වෙන තරගයේ අවසන් සැසියේදී තරගය නිමා කිරීමට නියමිත කාලයට පෙර අයහපත් ආලෝකය තරගයට හරස් වුවත් ක්‍රීඩාංගණයේ සවිකොට තිබෙන විදුලි බුබුලු උපයෝගී කර ගැනීමට ඉහත සාකච්ඡාවේදී තීරණය වී තිබේ. එසේ වුවහොත් ටෙස්ට් තරගයේ අවසන් කාල සීමාව දිවා/රාත්‍රී අසිරියක් ගෙන පැවැත්වීම සඳහා වැඩි අවස්ථාවක් නිර්මාණය වී තිබේ.

ඉතිහාසයෙන් බිඳක්

ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට පාකිස්තානයේදී ටෙස්ට් තරගාවලියක් පරාජයට පත්ව ඇත්තේ 1991 වසරේදී වන අතර එම තරගාවලියෙන් අනතුරුව පැවැති එකම තරගාවලියක් හෝ මේ දක්වා පාකිස්තානය තුළ පරාජයට පත්ව නොමැත. 1991 වසරේදී පාකිස්තානු පිල ඉම්රාන් ඛාන් විසින් මෙහෙයවද්දී ශ්‍රී ලංකා පිල මෙහෙවන ලද්දේ අරවින්ද ද සිල්වා විසිනි. එතැන් පටන් ශ්‍රී ලංකා කණ්ඩායම 2009 වසර දක්වා තරග වැදුණු තරගාවලි 4 දී දෙවතාවක ජය ශ්‍රී ලංකාව ලබා ගැනීමට සමත්වද්දී දෙවතාවක් ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව තිබේ. දෙරට අතර සමස්ථ ටෙස්ට් ඉතිහාසය ගෙන බැලීමේදී තරග 53 කදී දෙරට මුණ ගැසී තිබෙන අතර ඉන් 16 වතාවක ජය ශ්‍රී ලංකාව අත්කර ගනිද්දී 19 වතාවක් ජය ගැනීමට පාකිස්තානය සමත්ව තිබේ.

– චමිල කරවිට – 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.