ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ජාතික ඔලිම්පික් ලේකම් ට පිළිතුරු සපයයි

සහන් කසීර වික්‍රමසිංහ –

කත්මණ්ඩු නුවර සිට මාධ්‍ය සාකච්ඡා පවත්වමින් මළල ක්‍රීඩා කණ්ඩායමට පදක්කම් ගෙන පෙන්වන්නැයි අභියෝග කළ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා වෙත ලියමි.

වසර 28කට පසු දකුණු ආසියානු මලල ක්‍රීඩා බිමේ පෙරැළිකාරයන් බවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නේපාලයේ කත්මන්ඩු නුවර දසරාත් ක්‍රීඩාංගණයේදී පෙරේදා නිමාවු මලල ක්‍රීඩා තරගවලින් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 15ක්, රිදී පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 8ක් හිමිවූ අතර එය වසර 1991 කොළඹ දී පැවැති සාග් ක්‍රීඩා උළෙලේ දක්ෂතා ඉක්මවමා යෑමකි.

එමෙන්ම වසර 28කට පසු ඉන්දියාව අබිබවා රන් පදක්කම් 15ක් දිනා ගැනීම ඉතිහාසගත වන ජයග්‍රහණයකි.

ශ්‍රී ලංකා කාන්තා සහාය දිවීමේ කණ්ඩායම මෙවර මීටර 4×400 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමය සමත් විය. ඔවුන් එම ජයග්‍රහණය ලබන්නේ මීටර 400 ජාතික සූරිය නදීෂා රාමනායක සහ සහාය දිවීමේ අවසාන තේරීම් තරගයේ දෙවැනි තැන දිනූ නිමාලි ලියනාරච්චි ද නොමැතිව ය.

මැක්ස්වෙල් ;
පසුගිය සාග් ඉතිහාසයේ තරගාවලි 12 ක් අතරින් තරගාවලි 11 ක දීම කාන්තා මීටර 4×400 ඉසව්ව පැවැත්වුණු අතර ඒ සියලුම අවස්ථාවන්හි දී මේ ඉසව්වේ රන් පදක්කම හිමි වූයේ ඉන්දියාවට ය.

ඉසව්ව සඳහා ක්‍රමානුකූල පුහුණුවක් නොලද ආදේශක ක්‍රීඩිකාවන් යොදාගනිමින් වුව ද මේ ඉසව්ව ජය ගන්නට ලංකාවට හැකි වූයේ ඔවුන් තුළ තිබූ ක්‍රීඩාශීලීත්වය සහ කණ්ඩායම් හැඟීම නිසා ය. ඊටත් වඩා වැදගත් කරුණක් විය. මේ ක්‍රීඩිකාවන් ලබා තිබූ තරග අත්දැකීම් සහ පරිචය නිසා ඔවුන් හදිසි අවස්ථාවක දී වෙනත් ඉසව්වකට සාර්ථකව අනුවර්තනය වීමේ හැකියාවෙන් යුතු බව මේ පදක්කම සාක්ෂ්‍ය සහිතව පෙන්නා දී ඇත.

ඔලිම්පික් ලේකම් මැක්ස්වෙල් සිල්වා නේපාලයේදී පැවැත්වු මාධ්‍ය හමුව

 

 

මළල ක්‍රීඩා කණ්ඩායමේ සහභාගීත්වය ඉහළ නැංවූ නිසා තම නිළධාරී නඩය අඩු කිරීමට වූ බවට එළිපිට අවලාද නැගූ ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ට අවධාරණය කරමි ;

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව ඉහළ නංවා ඔවුන්ට හැකි තරම් තරග අත්දැකීම් ලබා දිය යුතු වන්නේ මන්දැයි මා ඉහතින් පැහැදිලි කර ඇත. බූරු තවලම් මෙන් නිළධාරී නඩ පිටින් ක්‍රීඩා තරග වලට සහභාගී කරවීමෙන් ඔබ අපේක්ෂා කරන්නේ කුමක්දැයි ඔබට පැහැදිලි කළ හැකිද ? ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ආබාධයකට ලක් වූ විට ඒ වෙනුවට ආදේශ කළ හැක්කේ වෙනත් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් විනා වැස්සට එළියට තල්ලු කරන්නට තරම් වත් වටිනාකමක් නැති නිළධාරී මඩුල්ලෙන් එකෙක් යැයි ඔබ සිතුවා ද ?

2016 සාග් උළෙල නිම වී ලංකාවට ගොඩ බසින්නත් පෙර ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනූ පදක්කම් වලට නිග්‍රහ කළ එවකට ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දුගේ වගාඩම්බර වසර හතරක් යන්නට මත්තෙන් සිඳුණු සැටි දුටු රටකට මැක්ස්වෙල් ද සිල්වාගේ නරිවාදම් මහා ලොකු නැත.

මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට පදක්කම් ගෙන පෙන්නන්නැයි අභියෝග කළ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාට මීටර 4×400 කාන්තා රන් පදක්කම පෙන්වා ක්‍රීඩා ලෝලී අප මෙසේ පවසමු.

මැක්ස්වෙල් ද සිල්වා ;
අමුඩය ඇඳිම වනාහි ඔබගේ කැමැත්ත ය. නමුත් කඩුල්ල හසුවන සේ අමුඩය ඇඳ පසුව ජාත්‍යන්තර විහිළුවක් වීමෙන් වළකින්න.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.