SAG-මතක අලුත් කළ මලල ක්‍රිඩා පදක්කම් මෙහෙයුම .

ශ්‍රී ලංකා මළල ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් විසින් ලබා ගත් උද්වේගකරම ජයග්‍රහණය කුමක්දැයි මගෙන් ඇසුවේ නම් මා සඳහන් කරන්නේ දමයන්ති දර්ශා විසින් 1998 බැංකොක් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 200 ඉසව්ව ජයගත් අවස්ථාව ය.

මීටර 100 ඉසව්වේ ප්‍රබලතම තරගකාරිය වූ සුසන්තිකා ජයසිංහ අවසාන තරගයට සුදුසුකම් ලැබූ නමුත් අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත තරගයෙන් ඉවත් වීමත් , චීන ක්‍රීඩිකාව අවසන් පූර්ව වටයේ සිට ම අනපේක්ෂිත තරග නිමි කාලයන් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගැනීමත් සමග සියලුම මාධ්‍ය අවධානය ඇය වෙත හැරිණ. මීටර 200 ඉසව්ව සඳහා සුසන්තිකා ජයසිංහ තරග නොවදින බැවින් අවසාන මොහොතේ දමයන්ති දර්ශා ආදේශ කළ ද සියලුම මාධ්‍ය අනාවැකි පල කළේ මේ ඉසව්ව ද ‘ලී ෂුමෙයි’ හට පහසු රන් පදක්කමක් බව ය. නමුත් දමයන්ති දර්ශා අවසන් පූර්ව වටයේ දී ‘ලී ෂුමෙයි’ දෙවැනි තැනට ඇද දමමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය. අවසාන තරගයේ දී සිය උපරිමයෙන් තරග කළ ‘ලී ෂුමෙයි’ මීටර 195 ක් පමණ වන තෙක් ප්‍රථම ස්ථානයේ පසු වූ අතර නොනවත්වා හඹා ආ දමයන්ති දර්ශා අවසාන තත්පරයේ දී ඇය පසු කර දිනුම් සීමාව පසු කළේ කිසිවෙකුට කිසිවක් සිතාගන්නටවත් කාලයක් ඉතිරි නොකරමිනි. එය නව තරගාවලි වාර්තාවක් වූවා පමණක් නොව 1998 වසරේ මෙම ඉසව්ව වෙනුවෙන් වාර්තා වූ දක්ෂතා අතරින් ලොව 8 වැනි තැනට ශ්‍රේණිගත විය. “මට ඇය හුස්ම ගන්න සද්දේ ඇහුණා. නමුත් එතකොට මම ප්‍රමාදයි. ඇය මා පසු කළා” එදා චීන ක්‍රීඩිකාව ‘ලී ෂුමෙයි’ මාධ්‍ය වෙත පැවසූ අදහස සිංහල පුවත්පත්වල පළ වූ ආකාරය අදටත් මතක ය. අවාසනාවකට අද වන විට එම තරගයේ වීඩියෝවක් සොයාගන්නට හෝ නොමැත.

අද සිට මා මෙතෙක් දුටු මේ උද්වේගකරම ජයග්‍රහණ ලැයිස්තුවට තවත් එක් ජයක් එක් වනු ඇත. ඒ 2019 කත්මණ්ඩු සාග් උළෙලේ කාන්තා මීටර් 4×400 සහාය දිවීමේ ඉසව්වේ ජයග්‍රාහී මොහොතයි. සාග් තරගාවලි ඉතිහාසයේ මේ තරග ඉසව්ව පවත්වා ඇති අවස්ථා එකොළහේ දී ම රන් පදක්කම දිනා ඇත්තේ ඉන්දියාවය. එසේ වූ පසුබිමක අවසාන මොහොතේ මේ ඉසව්වේ ජාතික සූරිය නදීෂා රාමනායක සහ සහාය දිවීමේ තේරීම් තරගයේ දෙවැන්නා වූ නිමාලි ලියනාරච්චි අහිමි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඔමායා උදයංගනී සහ ගයන්තිකා අබේරත්න සමග කෙසේ හෝ තරගයට අවතීර්ණ වූහ.

ආරම්භක ක්‍රීඩිකාව වූ ඔමායා උදයංගනී විසින් ගයන්තිකා අබේරත්න වෙත යෂ්ටිය හුවමාරු කරනු ලැබුවේ තෙවැන්නා ලෙසින් වන අතර ගයන්තිකා ද කෞෂල්‍යා මධුෂානි වෙත යෂ්ටිය ලබා දෙන්නේ තෙවැන්නා ලෙසිනි. වහා යෂ්ටිය උදුරාගෙන ඩැහැගන්නා කෞෂල්‍යා, එය අවසාන ක්‍රීඩිකාව දිල්ෂි කුමාරසිංහ වෙත පිරිනමන්නේ දෙවැන්නා ලෙස ය. ඒ වන විට මුල් තැන පසු වූ අවසාන ඉන්දියානු ක්‍රීඩිකාව සිටින්නේ , අනුමානය නිවැරදි නම් මීටර 80-100 ක් තරම් දුර පරතරයකිනි. නමුත් ඇදහිය නොහැකි වේගයකින් සහ ආත්ම විශ්වාසයකින් හඹා යන දිල්ෂි කුමාරසිංහ අවසාන මීටර 100 වන විට ජයග්‍රහණය තමා සතු කරගනිමින් ලංකාවට රන් පදක්කම දිනා දෙන්නීය.

එම වීඩියෝව මේ සටහනෙහි එකේ දෙවැනි කමෙන්ට් එක ලෙස යොදා ඇති අතර Ceylon Athletics සමූහය වෙත ඒ වෙනුවෙන් ස්තුතිය පළ කරමු.

මේ සටහන යොදා ඇති ඡායාරූපය ට අදාල රූපරාමු ද එම වීඩියෝව අවසානයේ දක්නට ලැබෙන අතර ඒ වනාහී ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම ජයග්‍රාහී ක්‍රීඩිකාවන් වෙත දක්වනු ලැබූ උණුසුම් ප්‍රතිචාරයයි. ඉතිහාසගත උණුසුම් තරගයකින් ජය ලැබීමෙන් අනතුරුව සිය කණ්ඩායම වෙත පැමිණෙන ක්‍රීඩිකාවන් සිව්දෙනා වෙත කඩා පනින සහෝදර ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ට හුස්මක් ගන්නට ඉඩ නොතබා බදා වැළඳගන්නා ආකාරය සහ සතුට ප්‍රකාශ කරන ආකාරය දකින විට ඇති වන හැඟීම ආනන්දජනක ය. වීඩියෝවෙන් හඳුනාගත හැකි ආකාරයට ලක්ෂිකා සුගන්දි , සාරංගි සිල්වා , විදූෂා ලක්ෂානි , තාරිකා ෆර්නැන්ඩෝ, නදීකා මුතුනායක , ඉරේෂානි රාජසිංහ වැනි කෙටි දුර සහ පිටිය ඉසව් ක්‍රීඩිකාවන් ඇතුළු සමස්ත මළල ක්‍රීඩා කණ්ඩායම ම ජයග්‍රාහිකාවන් වෙත දක්වන හෘදයාංගම ප්‍රතිචාරය දකින විට , ඔබ වෙනුවෙන් ලියූ අකුරු අපතේ ගොස් නැතැයි යන අවංක ආත්ම තෘප්තිය හිමි වේ.

කළ නොහැක්කක් නොමැත !

– සහන් කසීර වික්‍රමසිංහ –

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.