SAG 2019-කත්මණ්ඩු නුවර සහ දමයන්ති දර්ශා | විසි වසරක් පැරණි සාග් වාර්තා ත්‍රිත්වය

සහන් කසීර වික්‍රමසිංහ

දෙසැම්බර් මස මුල් සතියේ සිට නේපාලයේ කත්මණ්ඩු නුවර දී ඇරඹෙන 13 වැනි දකුණු ආසියානු තරගාවලිය ලාංකේය මළල ක්‍රීඩාවෙහි අනාගත පදක්කම් ආයෝජනයක් පමණක් වන්නේ නැත. එය ලාංකේය මළල ක්‍රීඩාවෙහි ඉසුරුමත් අතීත සලකුණු ද සිහි කැඳවන්නකි.

1999 වසරේ දී , එනම් හරියට ම වසර 20 ට පෙර 8 වැනි දකුණු ආසියානු තරගාවලිය පැවැත්වූයේ ද නේපාලයේ කත්මණ්ඩු නුවර දී ය. එහි කාන්තා මීටර 100 ; මීටර 200 සහ මීටර 400 යන ඉසව් ත්‍රිත්වය ම දිනාගනු ලැබුවේ දමයන්ති දර්ශා විසිනි. ඒ නව තරගාවලි වාර්තා ත්‍රිත්වයක් ම සනිටුහන් කරමිනි.

• මීටර 100 – 11.19
• මීටර 200 – 22.68
• මීටර 400 – 52.11

දමයන්ති දර්ශා විසින් 1999 දකුණු ආසියානු තරගාවලියේ දී මෙලෙස එකවර බිඳ දමනු ලැබුවේ 1995 චෙන්නායි සාග් උළෙලේ දී පිහිටවනු ලැබූ වාර්තා ත්‍රිත්වයකි. එහි දී මීටර 100 සහ මීටර 200 වාර්තා සුසන්තිකා ජයසිංහ විසින් පිහිටුවා තිබූ අතර මීටර 400 වාර්තාව පිහිටුව තිබුණේ ඉන්දියාවේ ෂයිනි විල්සන් – ඒබ්‍රහම් විසිනි.

වසර විස්සක් තිස්සේ අදටත් නොබිඳී පවතින ,මේ දකුණු ආසියානු තරගාවලි වාර්තා ත්‍රිත්වය හිමිකාරිනිය අදටත් ලංකාව තුළම වෙසෙන බව බුරුතු පිටින් නිරීක්ෂණ සවාරි වල යෙදෙන ක්‍රීඩා බලධාරීන් දැනුවත් ද ? ඉතිහාසගත ලෙසින් , වසර විස්සකට පසුව ඒ නොබිඳුණු වාර්තා ත්‍රිත්වය පිහිටවූ සත්කාරක රාජ්‍යයේ පැවැත්වෙන දකුණු ආසියානු තරගාවලියට සුබ පතන්නට හෝ වාර්තා ලාභිනිය කැඳවන්නට බලධාරීන්ට සිහිපත් වූවාද ? අඩුම වශයෙන් , මේ වාර්තා ත්‍රිත්වය ම හිමි ලංකාවට බව හෝ , ඒ සියල්ලම පිහිටනු ලැබුවේ වසර විස්සකට පෙර නේපාලයේ දී ම බව හෝ ක්‍රීඩා බලධාරීන් දැනුවත්ව සිටී ද ?

දමයන්ති දර්ශා ;
බලධාරීන් සහ ඇමතිවරු වෙනස් විය හැකි ය. එනුමුදු ඉතිහාසයේ ඔබ නමින් වෙන් වුණු ගෞරවනීය ඉඩ සදා නොවෙනස් ය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.