SAG2019-නිමාලි ගේ සාග් පදක්කම් අපේක්ෂාවක් මහමග බිඳී යයි

සහන් කසීර වික්‍රමසිංහ

අද දින උදෑසන සිදු වූ අවාසනාවන්ත රිය අනතුරකින් නිමාලි ලියනාරච්චි තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර අනතුරෙන් ඇයගේ අත බිඳී ඇත. තව දින තුනකින් නේපාලයේ කත්මණ්ඩු නුවර දී ඇරඹෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා පුහුණුවීම් පිණිස තම යතුරුපැදියෙන් ගමන් ගනිමින් සිටි නිමාලි ට මේ අනුව මෙවර තරගාවලිය අහිමි වනු ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර 800 සහ මීටර 1,500 ඉසව් සඳහා තරග වදින්නට සුදුසුකම් ලැබූ නිමාලි ලියනාරච්චි 4×400 සහාය දිවීමේ කණ්ඩායමට ද ඇතුළත් වූවාය. පසුගිය දා පැවති ආසියානු මළල ක්‍රීඩා උළෙලේ දී 3.35.06 ක් ලෙස ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරමින් සිව්වැනි තැන දිනාගත් සහාය දිවීමේ කණ්ඩායමට නිමාලි ද ඇතුළත් වූ බැවින් පෙරේදා පැවති සහාය දිවීමේ කණ්ඩායම් තෝරාගැනීමේ තරගයට ඇයව ද සහභාගී කරගන්නට කටයුතු සලසා තිබිණ. එහි දී දෙවැනි තැන දිනා සහාය දිවීමේ කණ්ඩායමට තේරුණු නිමාලි , මෙවර ඉසව් 3 කින් පදක්කම් දිනා ගනිතැයි බොහෝ අපේක්ෂා ඇති කළ ක්‍රීඩිකාවකි.

නිමාලි ලියනාරච්චි මෙයට පෙර 2015 වූහාන් ආසියානු මළල ක්‍රීඩා උළෙලේ දී මීටර 800 ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවේ 1993 මැනිලා ආසියානු මළල ක්‍රීඩා උළෙලේ ධම්මිකා මැණිකේ දිනූ ලෝකඩ පදක්කමට පසුව එනම් ,වසර 22 ට පසුව එම ඉසව්වෙන් ලංකාව දිනූ මුල් ම ආසියානු මළල ක්‍රීඩා පදක්කම සතු කර ගනිමිනි. වසර 2 ට පසුව , එනම් 2017 භුහනේස්වර් ආසියානු මළල ක්‍රීඩා උළෙලට සහභාගී වූ නිමාලි එහි දී මීටර 800 ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට සමත් වූවාය. පසුගිය දා , එනම් 2019 වසරේ වූහාන් හි පැවති ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ දී මීටර 800 ඉසව්වේ රිදී පදක්කම දිනාගත් නිමාලි මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන්නට නියමිතව තිබුණේ පසුගිය තරගාවලියේ රන් පදක්කම් ලාභිනිය ලෙසිනි.

2016 ගුවාහතී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර 800 ඉසව්වෙන් තම දේශීය ප්‍රතිවාදිනිය වන ගයන්තිකා අබේරත්න සහ 2019 ආසියානු මළල ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලාභිනිය වූ ඉන්දියාවේ මාරිමුතු ගෝමතී පරාජය කරමින් නිමාලි ලද රන්පදක්කම ශ්‍රී ලංකාවට සුවිශේෂී වන හේතුවක් ඇත. තරගාවලි 12 ක ඉතිහාසයක් ඇති දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා මීටර 800 ඉසව්ව පවත්වා ඇති තරගාවලි 11 න් 9 ක් ම ජයගෙන ඇත්තේ ඉන්දියානු ක්‍රීඩිකාවන් ය. නිමාලි 2016 වසරේ දී ඉන්දියාවේ දී ම ඉන්දීය ක්‍රීඩිකාවන් පරාජය කර රන් පදක්කම දිනා ගන්නට පෙර මේ ඉසව්ව සඳහා ලංකාවට හිමි වූ එකම රන් පදක්කම වාර්තා කර තිබුණේ වසර 25 ට පෙර 1991 කොළඹ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ධම්මිකා මැණිකේ විසිනි. නිමාලි සහභාගී වන්නට සිටි මීටර 1,500 ඉසව්වේ ද තත්ත්වය ඒ හා සමානය. මෙතෙක් ඉසව්ව පැවති අවස්ථා 8 අතරින් 1991 කොළඹ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ධම්මිකා මැණිකේ දිනා ගත් රන් පදක්කම හැරෙන්නට ලංකාව එක අවස්ථාවක හෝ ජය ගෙන නැත.

මෙවර ඉන්දියානු කණ්ඩායම සමග කෙටිදුර ඉසව් වල රන් පදක්කම් දිනා ගැනීම ඉතා දුෂ්කර අභියෝගයක් ව පවතින මොහොතක කණ්ඩායමේ වඩාත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාව සහ ජාත්‍යන්තර තරග අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක මෙන් ම රන් පදක්කම් සඳහා වඩා අවස්ථාව ඇති ක්‍රීඩිකාවක වන නිමාලි ලියනාරච්චි හට සිදු වූ අනතුර පිළිබඳ ව අපගේ කණගාටුව පළ කරමු. මේ වන විට තිස් වැනි වියේ පසුවන බැවින් ඇයගේ ක්‍රීඩා දිවියේ පරිණතම යුගයක සිදු වූ මේ අභාග්‍යසම්පන්න සිදුවීම පරදවා ඉදිරි තරගාවලි සඳහා තරගවදින්නට ධෛර්යය ලැබේවා යැයි ද ප්‍රාර්ථනා කරමු.

අවසාන වශයෙන් නිමාලි ලියනාරච්චි ට මෙසේ පවසමු ;

2015 වසරේ දි මීටර 800 ඉසව්ව වෙනුවෙන් වසර 22 ට පසු ලංකාවට හිමි වූ ආසියානු මළල ක්‍රීඩා ලෝකඩ පදක්කම ද , එම උළෙලේ දී ලංකාවට හිමි වූ එකම පදක්කම ද රැගෙන කටුනායක ගුවන් තොටුපෙළෙන් බැස කිසිදු නිල පිළිගැනීමකින් තොරව පාරේ බසයෙන් පුහුණුකරු සමග සූරියවැවට ගිය නිමාලි ලියනාරච්චිට රිදවන්නට ස්කූටි පෙප් යතුරු පැදියකට හැකියාවක් නොමැත. ජය !

– සහන් කසීර වික්‍රමසිංහ –

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.