SAG2019-සාග් තරගාවලියට මේස පන්දු නියෝජනය 10ක්

නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වෙන වන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන මේස පන්දු කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකු එක්ව සිටිති.

ක්‍රීඩකයන් 5 දෙනකුගෙන් සමන්විත පිරිමි කණ්ඩායමේ නායකත්වය මාස් ඉන්ටිමේට් ආයතන ක්‍රීඩා සමාජයේ නිර්මල ජයසිංහට හිමිව ඇති අතර වරාය අධිකාරිය නි‍යෝජනය කරන ඉෂාරා මධුරංගි ක්‍රීඩිකාවන් 5 දෙනකුගෙන් සමන්විත කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරයි.

අවසන් වරට ඉන්දියාවේ පැවැති 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 10ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එහිදී පිරිමි කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම දිනාගත් කණ්ඩායමට ඇතුළත්ව සිටි උදය රණසිංහ සහ නිර්මල ජයසිංහ මෙවරත් සංචිතයට ඇතුළත්ව ඇති අතර ඉෂාරා මධුරංගි, චමීර ගීගනගේ, එරන්දි වරුසවිතාන එම ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම් දිනා ගත්හ.

සාග් උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායම මේ මස 30 වැනිදා නේපාලය බලා පිටත්ව යෑමට නියමිතය. සාග් ක්‍රීඩා උළෙලේ මේස පන්දු තරගාවලිය දෙසැම්බර් මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා පැවැත්වේ.

පිරිමි කණ්ඩායම – නිර්මල ජයසිංහ (නායක, මාස් ඉන්ටිමේට් ආයතනය), උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය ක්‍රීඩා සමාජය), ක්‍රිෂාන් වික්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය ක්‍රීඩා සමාජය), චමීර ගිණිගේ (ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය), සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල)

කාන්තා කණ්ඩායම – ඉෂාරා මධුරංගි (නායිකාව, වරාය අධිකාරිය), බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඩ් විදුහල), එරන්දි වරුසවිතාන (යුද හමුදාව), අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල), හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල)

නිලධාරීන් – සදිනි නිරාෂා (කළමනාකාරිණි), බුද්ධික දික්කුඹුර (පුහුණුකරු)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.