45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල – වසර 7ක මීටර 800 කාන්තා ආධිපත්‍ය දකුණෙන් ගිලිහෙයි – දිල්ෂිට රන් පදක්කම

ජාතික මහ ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 800 තරග ඉසව්වේ මෙතෙක් ආධිපත්‍ය රදවා සිටි දකුණු පළාතෙන් එය උදුරා ගැනීමට මධ්‍යම පළාත මෙවර සමත් විය. ඒ ගයන්තිකා අබේරත්න සහ නිමාලි ලියනාරච්චි මෙවර තරගාවලියට එක් නොවීමත් සමගය.

ඒ අනුව මධ්‍යම පළාතේ දිල්ෂි කුමාරසිංහ විනාඩි 2: 10. 26 කින් තරගය නිම කරමින් මෙවර රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. ඇයට කරට කර තරගයක් ලබාදුන් දකුණු පළාතේ එරංගා දුලක්ෂි විනාඩි 2: 11. 14 කින් තරගය නිම කරමින් මෙවර රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. ලෝකඩ පදක්කම හිමිවූයේ වයඹ පළාත නියෝජනය කළ චම්පිකා දිල්රුක්ෂි ක්‍රීඩිකාවටයි.

මීටර 800 තරග ඉසව්වේ කාන්තා ජාතික වාර්තාවට හිමිකම් කියන ගයන්තිකා අබේරත්න 2017 වසරේදී විනාඩි 2:02.55 කින් තරගය නිම කරමින් එහි වාර්තාව තමන් සතුකර ගත්තාය. ජාතික මහ ක්‍රීඩා උළෙලක මීටර 800 තරග ඉසව්වේ  වාර්තාව තවමත් නිමාලි ලියනාරච්චි සතුව ඇති අතර ඇය 2016 වසරේ යාපනයේ පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේදී විනාඩි 2: 03.5 කින් තරගය නිම කරමින් පිහිටුවන ලදි.

2012 වසරේ සිට වසර 7ක්  මීටර 800 කාන්තා තරග ඉසව්වේ ආධිපත්‍ය දකුණු පළාත සතුව පැවති අතර එහිදී නිමාලි ලියනාරච්චි අවස්ථා 5කදීම රන් පදක්කම දිනා ගැනීමට සමත් වී ඇත.

එම තරග ඉසව්වේම පිරිමි මීටර 800 තරගය විනාඩි 1: 53.34 කින් අවසන් කළ දකුණු පළාතේ චතූ රංග රන් පදක්කම දිනා ගනිද්දී, ඌව පළාතේ සී. අරවින්දන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. එහි ලෝකඩ පදක්කම හිමි වූයේ මධ්‍යම පළාතේ එස්. ටී බුලුගහපිටියටයි.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.