ජාතික මහ ක්‍රීඩා උළෙල අති උත්කර්ෂවත්ව ඇරඹෙයි

සමීර ගොඩපිටිය බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ සිට….

දේශීය කෙළිබිමේ සුවිශාලතම කි‍්‍රඩා එකතුව ලෙස සැලකෙන ජාතික මහ කී‍්‍රඩා උළෙලේ 45 වැනි අදියර අද (24 වැනිදා ) පස්වරුවේ බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ සහභාගීත්වයෙන් ආරම්භ විය.

“ මම කියන්නේ ආණ්ඩු මාරු වෙන්න පුළුවන්. ඇමතිවරු මාරු වෙන්න පුළුවන් . ඒත් ක්‍රීඩා ප්‍රතිපත්තිය මාරු වෙන්න හොඳ නැහැ. ක්‍රීඩාවට ප්‍රතිපත්තයක් තියෙන්න ඕන.ක්‍රීඩකයාව බලාගන්න ඕනේ. ක්‍රීඩකයාට රැකියාවක් දෙන්න ඕනේ. ක්‍රීඩකයාට ජාත්‍යන්තර අත් දැකීම් ලබන්න අවස්ථාව දෙන්න ඕනේ.  මේ වගේ අදහස් ගණනවාක් මගේ හිතේ තියෙනවා. ඒ නිසා මම උත්සාහ කරනවා මේ දේවල් මේ ක්‍රීඩකයන්ට ලබාදෙන්න යැයි ක්‍රීඩා අමාත්‍යවරයා ජාතික මහ ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙට එක් වෙමින් කියා සිටියේය.

මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන්සිළු දැල්වීම 2000 වසරේ ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ මෙන්ම 2001 වසරේ ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කළ හරිජන් රත්නායක සහ හිටපු ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකා ශානිකා රාජපක්ෂගේ සහභාගීත්වයෙන් පැවැත්වූහ.

එහිදී පළාත් 9 නියෝජනය කරමින් ක්‍රීඩක කී‍්‍රඩකාවන් සහ නිලධාරින් ආචාර පෙලපාලියට එක්ව සිටි අතර, සහන් රන්වලගේ නර්තන බලකාය එක්ව සංස්කෘතික අංග වලින් සමන්විත නර්තන සමුදායකින් ජාතික මහ ක්‍රීඩා උළෙලේ සමාරම්භය වර්ණවත් කළේය.

ජාතික මහ ක්‍රීඩා උළෙලේ පළමු දිනයේ තරග හෙට ( 25 ) උදෑසන 8.00 ට ආරම්භ වීමට නියමිත අතර රාත්‍රි  8.00 ට දකුණු පළාත් පාපන්දු කණ්ඩායම සහ උතුරු පළාත් කණ්ඩායම අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතය.

විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාතයංශයේ ලේකම් චූලානන්දු පෙරේරා මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මික මුතුගල සහ ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න සහ තවත් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.