ගනර් සුපර්ක්‍රොස් ජය අශාන් සහ ජාක්ට

මෙරට සුපර් ක්‍රොස් තරග බිමේ කැපී පෙනෙන තරගාවලියක් වන ගනර් සුපර් ක්‍රොස් තරගාවලියේ දී අශාන් සිල්වා පිට පිට තුන්වැනි වරටත් දක්ෂතම රියැදුරාගේ ශූරතාව දිනාගැනීමට සමත් විය.

සියැට් – ස්ලඩා මෝටර් රථ හා යතුරුපැදි තරගමාලාවේ තුන්වැනි අදියර ලෙස මින්නේරිය තමන්කඩුව ගනර් ධාවන පථයේ පසුගියදා පැවැති 14 වැනි ගනර් සුපර්ක්‍රොස් තරගාවලියේ යතුරුපැදි ශූරතාව දිනාගනු ලැබුවේ ජාක් ගුණවර්ධන විසිනි.

එස්.එල්./ජී.ටී. 3500 සී.සී. මෝටර් රථ සුපිරි තරග අංශයේ ඉසව් ද්විත්වයම අශාන් ජයගත්තේ කිසිදු අභියෝගයකින් තොරවය. මෙරට මෝටර් රථ ධාවන තරග බිමේ ප්‍රබල තරගකරුවකු වූ අරවින්ද ප්‍රේමදාස කලෙකට පසුව තරග බිමට පිවිසීම කැපී පෙනුණු අතර ඔහු පළමු තරගයෙන් දෙවැනි ස්ථානයත්, දෙවැනි තරගයෙන් තුන්වැනි ස්ථානයත් දිනාගත්තේය. එහි පළමු තරගයේදී තුන්වැනි තැන ලැබූ ඉෂාක් වහාබ් දෙවැනි තරගයේදී දෙවැනි ස්ථානය දිනාගත්තේ අරවින්ද අබිබවා යමිනි.

මෝටර් රථ සහ යතුරු පැදි දෙඅංශයෙන්ම විශිෂ්ට දස්කම් දක්වන මෙරට මෝටර් රථ ධාවන තරග බිමේ ළාබාලතම තරගකරු කේසර ගොඩගේ එස්.එල්./ඊ. 1300 සී.සී. ෆෝඩ් ලේසර් /මැස්ඩා තරග ඉසව්වෙන් ජයවාර්තා කිරීමට සමත් වූ අතර එස්.එල්./ඊ. 1000 සී.සී. නිසාන් මාච් තරග ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනාගත්තේය. එහි ජයග්‍රහණය හිමිවූයේ නිරෝෂ් ජීවන්තටය.

ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූර උපුල්වන් සේරසිංහ එස්.එල්./එන්. 1500 සී.සී. ෆෝඩ් ලේසර් /මැස්ඩා තරග ඉසව්වෙන් හා එස්.එල්./එන්. 1300 සී.සී. නවීකරණය නොකරන ලද ෆෝඩ් ලේසර් /මැස්ඩා තරග ඉසව්වෙන් ජයගැනීමට සමත් විය.

දක්ෂතම යතුරුපැදි ශූරයා තීරණය වූ ‘එම්.එක්ස්.’ කාණ්ඩයේ 250 සී.සී. තරග අංශයේ පළමු තරගයේදි සිවුවැනි ස්ථානයට පත්වූ ජාක් ගුණවර්ධන දෙවැනි තරගය ජයගැනීමෙනි. එම තරගයේ හයවන වටය දක්වා දෙවැනි තැන පසුවූ ජාක් පෙරමුණ ගත්තේ ඒ වනවිටත් පළමු තරගය ජයගෙන යතුරුපැදි ශූරතාව හඹා යමින් සිටි ප්‍රබල තරගකරු ඉෂාන් දිසානායක අවාසනාවන්ත ලෙස අනතුරකට ලක්වීම හේතුවෙනි. එසේ නොවූවා නම් යතුරුපැදි ශූරතාව දිනාගැනීමේ අවස්ථාව ඉෂාන්ට හිමිවීමට ඉඩකඩ තිබිණ. ඒ අනුව ප්‍රසාද ලකුණු 15ක් අත්කර ගනිමින් ජාක් ගුණවර්ධන යතුරුපැදි ශූරතාව දිනාගත් අතර ඔහුට දැඩි අභියෝගයක් වූ ශානුක සඳරුවන් ප්‍රසාද ලකුණු 14ක් රැස් කළේය.

යතුරුපැදි තරග අංශයෙන් ද කැපී පෙනෙන දස්කම් පෑ ළාබාල තරගකරු කේසර ගොඩගේ ‘ජේ’ කාණ්ඩයේ 85සී.සී. අවුරුදු 15 න් පහළ තරග ඉසව්වෙන්ද ජයගත්තේය.

ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය හා එක්ව 14 වැනි වරටත් සංවිධාන කළ ගනර් සුපර් ක්‍රොස් තරගාවලියට මෝටර් රථ තරග ඉසව් ‍8ක් සහ යතුරුපැදි තරග ඉසව් 12 ක් ඇතුළත් විය. තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එක්වී සිටියේය.

ගීෂා මුණසිංහ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.