එක්දින තරගාවලි ජය බංගලාදේශ ‘ඒ ‘ කණ්ඩායම ට

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1 ලෙස ජයගැනීමට බංගලාදේශ ‘ඒ ‘ කණ්ඩායම සමත්විය.

ඒ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 98කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ ‘ඒ’ ක්‍රීඩකයෝ සමත්වීමත් සමඟයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ‘ඒ’ පිල කඩුලු 9ක් දැවී ලකුණු 322ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට කඩුලු 6ක් දැවී ලකුණු 130ක් ලබා සිටියේය. තරගයේ ජයග්‍රහණය සඳහා ඒ වනවිට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාවට හිමිව තිබූ ඉලක්කය ලකුණු 229කි.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් හුදෙකලා සටනක නිරතවූ කමිඳු මෙන්ඩිස් මේ තරගාවලියේ පිට පිට දෙවැනි අර්ධ ශතකය ලෙස ලකුණු 55ක් රැස් කළේය. පන්දු 65කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඉනිමට එක්කරගත් ඔහු, නායක අශාන් ප්‍රියංජන් සමගින් එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 64ක සබඳතාවක් ගොඩනැගුවද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. ප්‍රියංජන් ලකුණු 34කට දැවී ගියේය.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන් සයිෆ් හසන් සහ මොහොමඩ් නයීම් පළමු කඩුල්ලට ලකුණු 120ක සබඳතාවක් ගොඩනැගූහ. පන්දු 76කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 66ක් ලබාසිටි නයීම් දැවී යෑමෙන් එම සබඳතාව නිමාවූවද විශිෂ්ට ඉනිමක් දියත් කළ හසන් ලකුණු 117ක් ඉනිමට එක් කළේය. හතරේ පහර 12ක් සහ හයේ පහර 3කින් ඉනිම වර්ණවත් කරගත් ඔහු වැය කළේ පන්දු 110ක් පමණි. පන්දු යැවීමේදී ශිරාන් ප්‍රනාන්දු කඩුලු 4ක් දවාගත් අතර විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් බිඳ දැම්මේය.

බංග්ලාදේශ ‘ඒ’ – 322/9යි. (ඕවර 50) සයිෆ් හසන් 117, මොහොමඩ් නයීම් 66, මොහොමඩ් මිතුන් 32 (ශිරාන් ප්‍රනාන්දු 50/4, විශ්ව ප්‍රනාන්දු 69/3)

ශ්‍රී ලංකා ‘ඒ’ – 130/6යි. (ඕවර 50) (ඉලක්කය ලකුණු 229යි) කමිඳු මෙන්ඩිස් 55 (සයිෆ් හසන් 25/2, ඉබාදත් හොසේන් 26/2)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.