චෝදනා වලට සාක්ෂි ලබාදීලත් අද වෙනතුරු සාධරණයක් ඉටුවෙලා නැහැ – හිටපු පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති T10 ක්‍රිකට් තරගාවලියේදී විනය නීති උල්ලංගණය කළා යැයි කියමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු  වන අවිශ්ක ගුණවර්ධනගේ සේවාව අත්හිටුවා මාස 4ක කාලයක් ගතව ඇතත් ඒ සම්බන්ධයෙන් තවමත් සාධාරණ පිළිතුරක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අපොහොසත් වී ඇති බව අවිශ්ක ගුණවර්ධනගේ පාර්ශවය අද ( 04 ) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

සිය මාධ්‍ය හමුවට එක්වෙමින් අවිශ්ක ගුණවර්ධන කියා සිටියේ,

“ අයි සී සී එක චෝදනා පත්‍රයක් ලබාදීලා දැන් මාස 4කට වැඩි කාලයක් ගත වුණා. නමුත් මාස 4ක් ගෙවී ගිහිල්ලත් එහි ප්‍රගතියක් වෙලා නැහැ. 2017 වසරේ පැවති ටී ටෙන් තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අයි සී සී එක යම් යම් ලියකියවිලි සහ සාක්ෂි ඉල්ලා තිබුණා. අපි ඒ දේවල් ලබා දුන්නත් අපිට අද වෙනතුරු කිසිම සාධරණයක් වෙලා නැහැ. අඩුම තරමේ මේ සම්බන්ධයෙන් තවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහ අයි සී සි එකෙන් විමසීමක්වත් කරලා නැහැ. “

“ අයි සී සී එක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව එම ලියකියවිලි තියෙනව නම්, ඇයි පසුගිය මාස 4 තුළ එය අප වෙත ඉදිරිපත් කළේ නැත්තේ. මට තියෙන ගැටලුව ඒකයි. මාව වරදකරුවෙකු වෙන්නත් කලින්  මාව වරදකරුවෙක් කරලා ඉවරයි. ඒ වගේම මට දැන් රැකියාව නැහැ. චෝදනා නිසා මට ක්‍රීඩා සමාජයක හෝ පාසලකවත් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන්න විදියක් නැහැ.  ඒ වගේම ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සමග ඇති මගේ ගිවිසුම පසුගිය අගෝස්තු 30 වැනිදායින් අවසන් වුණා යැයි ඔහු වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේය.

අවිශ්ක ගුණවර්ධනගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින ශ්‍රේෂ්ඨාධීකරණ අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා සඳහන් කර සිටියේ, අවිශ්ක ගුණවර්ධන වෙනුවෙන් එල්ල වී ඇති මෙම චෝදනා පදනම් විරහිත බවයි. අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ,

“ අයි සී සී කියන ආයතනයට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත බලපෑම් කරන්න මේ වේලවේ නීතිමය බලයක් නැහැ. ඒකට හේතුව තමයි 2017 පැවැති ටී ටෙන් තරගාවලිය ඔය කියන අයි සී සී එකේ නීතී රෙගුලාසි යටතේ හෝ ඩොමෙස්ටික් ලෙවල් එක යටතේ  පවත්වපු තරගාවලියක් නෙවෙයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි තීරණයක් ගන්න බලාපොරොත්තු වනවා. නමුත් මේ වෙලාවේ කෙටි ප්‍රශ්නයක් මතුව තියෙනවා. ඒ තමයි ඔවුන් සාක්ෂි කරුවන් ලෙස සචිත්‍ර සේනානායක සහ රමිත් රඹුක්වැල්ල කියන පුද්ගලයන් නම් කරලා තියෙනවා. නමුත් අපි ඔවුන් දීලා තියෙන සාක්ෂි මොනවදා කියලා අයි සී සී එකෙන් ඉල්ලුවම ඔවුන් එය දෙන්න බැහැ කියනවා.  ඒ නිසා ඔවුන්ට මේ සම්බන්ධයෙන් අපිට තොරතුරු දෙන්න බැරිනම් අපි කියනවා ඔවුන් මේ කරගෙන යන්නේ ඔවුන්ට අයිති නැති බලයක් උපයෝගි කරගනිමින් තමයි මේ දේවල් කරගෙන යන්නේ කියලා.  

අනිත් කාරණය තමයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ගිහිල්ලා, ලංකාව නියෝජනය කරලා, යම් ප්‍රශ්නයක් ඇති වුනාම ඒ ප්‍රශ්න සියල්ලම අයි සී සී එක කිව්වා කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පස්ස ගහනවා. ඒ නිසා නීති මාර්ගයෙන් ගහිල්ලා ඔයාම මේකට විසදුමක් සොයා ගන්න කියන එක විතරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ. ඒ නිසා රට වෙනුවෙන් සේවයක් කරපු මේ වගේ පුද්ගලයෙක්ට මෙහෙම සලකන එක ගැන අනුමත කරන්න බැහැ යැයි මාධ්‍යෙව්දීයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වර්ණසූරිය මහතා කියා සිටියේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ කළමණාකරුවන් ලෙස කටයුතු කළ චරිත් සේනානයක සහ මයිකල් ද සොයිසා යන මහත්වරුන් එක්ව සිටියහ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.