ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට ඉහල සහභාගිත්වයක්

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය මේ මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉදිරි දියුණුව වෙනුවෙන් 12 වැනි වතාවටත් පවත්වන මේ තරගාවලිය සඳහා ප්‍රීමා සන්රයිස් නිෂ්පාදන අනුග්‍රහය සැපයීමට ඉදිරිපත්ව සිටී. තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ප්‍රදානය කිරීමේ උත්සවය පෙරේදා කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජ ශාලාවේදී පැවැත්වුණි.

ගොල්ෆ් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්තවන ක්‍රීඩාවක් බවත් නිමාවට පත්වූ නේපාල දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී කාන්තා ගොල්ෆ් රන් පදක්කමක් ශ්‍රී ලංකාව දිනාගැනීමෙන් එය තහවුරුවන බවත් මේ මාධ්‍ය හමුවේදී ගොල්ෆ් කනිෂ්ඨ කමිටු සභාපති නිලූ ජයතිලක මහත්මිය පැවැසූවාය.

සුපුරුදු පරිදි වයස අවුරුදු 15 – 18 අතර රන් අංශයේ තරග, වයස අවුරුදු 12 – 14 අතර රිදී අංශයේ තරග, වයස අවුරුදු 10 – 11 අතර ලෝකඩ අංශයේ තරග, වයස අවුරුදු 9 හා 9න් පහළ තඹ අංශයේ තරග ලෙස කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් ශූරයාට හා ශූරියට සම්මාන ප්‍රදානය කෙරෙන අතර එහිදී මේ සියලු තරග අංශවල දක්ෂතා සැලකිල්ලට බඳුන් කිරීමට නියමිතය.

පසුගිය වසරේ ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ ශුරයා බවට පත්වූ ඇමරිකාවේ පුහුණුව ලබන විනෝද් වීරසිංහ මෙවර තරගාවලියට එක්නොවන අතර ඔහු තෙවරක් දිනාගත් ශූරතාව රැක ගැනීමේ අපේක්ෂාව බිදී යයි. කෙසේ වුවද යොවුන් ගොල්ෆ් ක්‍රීඩකයින් අතර දස්කම් දක්වන නුවරඑළියේ එස්. දුවර්ශන්, මහනුවර අරූන් අස්ලම්, කොළඹ ජාත්‍යන්තර පාසලේ නිරේක් තේජ්වානී හා යන්තික් කුමාර යන යොවුන් ක්‍රීඩකයින් ශූරයාවීමට ප්‍රබල සටනක නිරත වේ.

පසුගිය වසරේ ශූරිය බවට පත්වූ ටානියා බාලසුරිය මෙවර තරගාවලියට එක්වන අතර ඇය සමග කාන්තා විදුහලේ කයිලා පෙරේරාගෙන් සටනක් නිර්මාණය වෙතැයි විශ්වාස කෙරේ. මෙවර තරගාවලියේ විශේෂත්වයක් වන්නේ එළැඹෙන ජූලි මාසයේ පැවැත්වෙන බ්‍රිතාන්‍ය කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය සදහා ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් තෝරාගැනීමේ මූලික වටයක් ලෙස සැලකීමය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.