දිමුත් හා ඕෂධ ගොඩනැගූ ඉනිමට මැතිවුස්ගෙන් හා ධනංජයගෙන් තල්ලුවක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (11 වැනිදා) දිනට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 202 ක් ලබා සිටියේය.

ධනංජය ද සිල්වා ( නොදැවී 38 ) සහ නිරෝෂන් දික්වැල්ල ( නොදැවී 11 ) ලබා කඩුල්ලේ රැදී සිටියහ.

දිවා ආහාරයට පසුව ලකුණු 31 ක් ඇතුළතදී ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම පිතිකරුවන් සිව් දෙනකු ආපසු ක්‍රීඩාගාරයට යවමින් තරගයේ පාලනය අතට ගැනීමට පාකිස්තානු පන්දු යවන්නන් සමත් වූ නමුත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක් එක් කළ ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා පිල කිසියම් ගෞරවනීය තැනකට කැඳවාගෙන ගියහ.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව ඉනිම ඇරඹීමට පිටියට පිවිසි දිමුත් ක රුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු ආරම්භ කඩුල්ල වෙනුවෙන් ලකුණු 96ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ.

තම ටෙස්ට් දිවියේ 24 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ දිමුත් කරුණාරත්න පන්දු 110කදී හතරේ පහර 9ක් සමගින් ලකුණු 59ක් රැස් කරමින් සිටියදී ශයින් ෂා අෆ්රීඩිගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන් දැවී ගියේය. ඔහු හා අනෙත් අන්තයේ රැදී සිටි ඕෂධ ප්‍රනාන්දු ආරම්භයේදී මන්දගාමි පිතිහරඹයක නිරත වුවද එකී පීඩනයෙන් මිදී නැවතත් ලකුණු අතරට පිවිසීම හේතුවෙන් ශ්‍රී ලංකා කන්ඩායමට දිවා ආහාරය වනතුරුත් සාර්ථක සබඳතාවයක් ගොඩ නැගීමට හැකි විය.

මාස 09 කට පසු ටෙස්ට් පිටියට පැමිණි ශ්‍රී ලංකා හිටපු නායක දිනේෂ් චන්දිමාල්ට පළමු ඉනිමේදී රැස්කර ගතහැකි වූයේ ලකුණු 2ක් පමණි. කුසල් මෙන්ඩිස් ද ලකුණු 10කට දැවි යාමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ඇදගෙන යාමට ඇන්ජලෝ මැතිවුස් සහ ධනංජය ද සිල්වාට සිදු වූහ.

පාකිස්තානය වෙනුවෙන් නසීම් ෂා ලකුණු 51 කට කඩුලු 2ක් බිද හෙලද්දී, මොහොමඩ් අබාස්, ෂයින් අෆ්රීඩි සහ උස්මාන් ශින්වාරි අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.

හෙට ( 12 ) තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම – පන්දුවාර 68.1කදී කඩුලු 5කට ලකුණු 202

( දිමුත් කරුණාරත්න 59, ඕෂධ පුනාන්දු 40, ඇන්ජලෝ මැතිවුස් 31, ධනංජය ද සිල්වා නොදැවී 38, නිරෝෂන් දික්වැල්ල නොදැවී 11, නසීම් ෂා 51/2 )

——————————————————————————————————————–

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා පිල පළමුව පන්දුවට පහර දෙයි

සත්කාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර  රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසිය වාසිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිව සිටි දිනේෂ් චන්දිමාල් මාස 11කට පසුව යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වීමට අවස්ථාව උදා වී ඇති අතර දිමුත් කරුණාරත්න සමගින් ඕෂධ ප්‍රනාන්දු තරගයේ ඉනිම ඇරඹීමට නියමිතය.

පාකිස්තානය වෙනුවෙන් අබිඩ් අලී සහ උස්මාන් ශින්වාරි මංගල ටෙස්ට් වරම් දිනා ගැනීමට අද සමත් වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න ( නායක ), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අන්ජලෝ මැතිවුස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ලථ දිල්රුවන් පෙරේරා, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ළහිරු කුමාර

පාකිස්තාන කණ්ඩායම – අසාර් අලී ( නායක), ශාන් මසූද්, අබිඩ් අලී, බාබර් අසාම්, හරිස් සොහේල්, අසාද් ශෆික්, මොහොමඩ් රිස්වාන්, උස්මාන් ශින්වාරි, මොහොමඩ් අබාස්, නසිම් ශා, ශයින් අෆ්රීඩි

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.