SAG 2019 – සමස්ත පදක්කම් 251ක් සමගින් ශ්‍රී ලංකාවට තෙවැනි තැන

නේපාලයේ කත්මන්දු සහ ෆොකාරාහිදී නිමාවට පත් වූ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 83ක් සහ ලෝකඩ පදක්කම් 128ක් සමගින් සමස්ත පදක්කම් 251ක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර සමස්ත පදක්කම් සටහනේ තෙවැනි ස්ථානය හිමි විය.

රන් පදක්කම් 174ක් (රිදී 93ක් සහ ලෝකඩ 45) සමගින් ඉන්දියාව සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ ගනිද්දී, සත්කාරක නේපාලය දෙවැනි තැන අත්කර ගත්තේ රන් 51ක්, රිදී 60ක් සහ ලෝකඩ පදක්කම් 95ක් සමගිනි.

ශ්‍රී ලංකාව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක ලබාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ( 251 ) මෙවර සනිටුහන් වූ අතර මීට පෙර 2016 වසරේදී සමස්ත පදක්කම් 186ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එසේම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව ලැබූ දෙවැනි වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව ( 40 ) ලබා ගැනීමට ශ්‍රී ලංකාව මෙවර සමත් වූ අතර මීට පෙර 1991 වසරේදී ශ්‍රී ලංකාවේ පැවති දකුණු ආසියානු තරගාවලියේදී රන් පදක්කම් 44ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මෙතෙක් පවත්වා ඇති සියලුම තරගාවලි වලදී ඉන්දියාව පළමු තැන රැක ගනිද්දී,  පකිස්තානය 7 වතාවක් දෙවැනි තැනට පත්ව තිබේ. ශ්‍රී ලංකාව අවස්ථාව 4කදී දෙවැනි තැනට පත් වෙද්දී නේපාලය අවස්ථා 2කදී පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයට පත්ව ඇත.

මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ, දකුණු ආසියාවේ මළල ක්‍රීඩා ආධිපත්‍ය  යළි සියතට ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබීමය. මෙවර දකුණු ආසියානු ක්‍රීඩා  උළෙලේදී මලල ක්‍රීඩා ඉසව් වලින් පමණක් රන් පදක්කම් 15 ක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම විදෙස් රටක පැවති තරගාවලියකදී ශ්‍රී ලංකාව දිනා ගත් වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව ලෙසද ඉතිහාසයට එක් විය.  1991 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවති 05 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ද ශ්‍රී ලංකාව ලංකාව රන් පදක්කම් 15 ක් දිනා ගැනීමට සමත් විය.. ඒ අනුව වසර 28 කට පසු දකුණු ආසියාවේ මළල ක්‍රීඩා ආධිපත්‍යය යළි සියතට ගැනීමට ශ්‍රී ලංකාවට මෙවර හැකියාව ලැබිණ. කාන්තා මළළ ක්‍රීඩා ඉසව් 18 න් රන් පදක්කම් 08 ක්ම දිනාගනු ලැබුවේ ශ්‍රී ලංකාව විසිනි.

මේ අතර ක්‍රීඩා උළෙලට එක්ව ඉහළ දස්කම් දැක්වූ මලල ක්‍රීඩා ඇතුළු කණ්ඩායම් රැසක් අද (11) පස්වරුවේ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.