බාබර් අසාම් සහ උස්මාන් ශින්වාරි පාකිස්තානයට ජය ගෙනෙති

බාබර් අසාම්ගේ විශිෂ්ඨ ශතකයත් ( 115 ), උස්මාන් ශින්වාරිගේ විශිෂ්ඨ පන්දු යැවීමත් හමුවේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කරච්චි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 67ක විශිෂ්ඨ ජයක් ලැබීමට සත්කාරන පාකිස්තාන කණ්ඩායම අද ( 30 ) සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1 -0 කින් පෙරමුණ ගැනීමට පාකිස්තිනයට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 306 ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46.5කදී සියලු දෙනාදැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 238ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 28ක් තුළ බිද වැටී තිබියදී, හයවැනි කඩුල්ල සඳහා එක් වූ ෂෙහාන් ජයසූරිය සහ දසුන් ශානක පන්දු 184කදී ලකුණු 177ක වාර්තාගත සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යාමට උත්සාහ කළ ද එකී ගමනට හරස් වූ උස්මාන් ශින්වාරි විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින්  ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ජයග්‍රහණය උදුරා ගැනීමට කටයුතු කළේය. දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය හයවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ සබඳතාවය පාකිස්තානයට එරෙහිව  6 වැනි කඩුල්ල සඳහා වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු 6 වැනි කඩුල්ල සඳහා ගොඩ නැගූ වැඩිම ලකුණු (177 ) සංඛ්‍යාව ලෙසද ඉතිහාසයට එක්විය.

6 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ෂෙහාන් ජයසූරිය පන්දු 109 කදී හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගින්  ලකුණු 96 ක් ලබා සිටියදී, උස්මාන් ශින්වාරිගේ පන්දුවන් හමුවේ සෆ්රාස් අහමඩ්ගේඅතට උඩ පන්දුවක් දෙමින් දැවී යාමට සිදුවූයේ සිය එක්දින ක්‍රිකට් පිටියේ මංගල ශතකයට තවත් ලකුණු 4ක් පසුපසින් සිටියදීය.  ඔහුට අනගි සහයක් ලබාදුන් දසුන් ශානක 7 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසෙමින් ලකුණු 68ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් තමන්ගේ කාර්යය නිසියාකරව කණ්ඩායමට ලබා නොදීමත්,  වගකීම් විරහිතව පන්දුවට පහර දීමත් හේතුවෙන් තරගයේ සම්පූර්ණ බර මැද පෙළ පිතිකරුවන් වෙත පැටලිනි. එය සාර්ථකව හඹා යාමට දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය කටයුතු කළද ඔවුන්ගේ දැවී යාමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවද ගිලිහී ගියේය. ඔවුන්ගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ද පන්දු 23කදි හයේ පහර 2 ක් සමගින් ලකුණු 30 ක් රැස් කිරීමට සමත් වුවද එය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කරා රැගෙන යාමට තරම් ප්‍රමාණත් නොවීය.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ උස්මාන් ශින්වාරි ලකුණු 51කට කඩුලු 5ක් බිද හෙලමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට කටයුතු කළේය. ඔහුට අනගි සහයක් ලබාදුන් ශඩාබ් ඛාන් ලකුණු 76කට කඩුලු 2ක් බිද හෙලීය.

වසර 10කට පසු පූර්ණ තරගාවලියට සත්කාරකත්වය සපයන පාකිස්තාන කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ  අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 305 ක් රැස් කිරීමට සමත් විය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් තම එක්දින දිවියේ 11 වැනි ශතකය වාර්තා කළ බාබර් අසාම් පන්දු 105 කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 115 ක් රැස් කිරීමට සමත් විය.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ෆකර් සමාන් සහ ඉමාම් උල් හක් පළමු කඩුල්ල සඳහා ලකුණු 73 ක සබඳතාවයක් ගොඩ නගමින් පාකිස්තාන ඉනිම ශක්තිමත් කළහ. පාකිස්තාන ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වූ ෆකාර් සමාන් පන්දු 65කදී හයේ පහරක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 54ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලහිරු තිරිමාන්න පන්දු යවන්නන් 6 දෙනෙකු උපයෝගි කරගනු ලැබුවද, වනිදු හසරංග, ලහිරු කුමාර සහ ඉසුරු උදාන හැරෙන්නට වෙනක් කිසිදු පන්දු යවන්නෙකුට දක්ෂතා අතරට පිවිසීමට අවස්ථාවක් හිමි නොවූහ. වනිදු හසරංග නියමිත පන්දුවාර 10 අවසානයේ ලකුණු 63කට කඩුලු 2ක් බිද හෙලද්දී, ලහිරු කුමාර ලකුණු 59කට එක් කඩුල්ලක් දවා ගත්තේය.

පාකිස්තාන කණ්ඩායම – පන්දුවාර 50 කදී කඩුලු 7 කට ලකුණු 305 

( බාබර් අසාම් 54, ඉමාම් උල් හක් 31, බාබර් අසාම් 115, හරිස් සොහේල් 40, ඉෆ්තිකර් අහමඩ් නොදැවී 32 , ඉමාඩ් වසීම් 12, වනිදු හසරංග 63/2, ලහිරු කුමාර 59/1 )

ශ්‍රී ලංකා කණ්ඩායම – පන්දුවාර 46.5 කදී ලකුණු 238 

( ෂෙහාන් ජයසූරිය 96, දසුන් ශානක 68, වනිදු හසරංග 30, උස්මාන් ශින්වාරි 51/5 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.