නවක ක්‍රීඩකයන්ට දක්ෂතා පෙන්වන්න මෙය මහගු අවස්ථාවක් – නායක ලහිරු තිරිමාන්න

කණ්ඩායමට එක් වූ නවක ක්‍රීඩකයන්ට එළඹෙන පාකිස්තාන සංචාරය තුළදී තමන්ගේ හැකියාවන් පෙන්වීමට මහගු අවස්ථාවක් උදා වී ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලහිරු තිරිමාන්න පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, අද ( 24 ) ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කණ්ඩායමේ  නායකයා වශයෙන් තමන් සතුටු වන බවත්, තරගාවලිය සාර්ථකව අවසන් කිරීම කණ්ඩායමේ එකම බලාපොරොත්තුව බවත් ඔහු එහිදී කියා සිටියේය.

“ අපිට සමබර කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම තරුණ ක්‍රීඩකයන් රැසක්ම මෙම සංචිතයේ ඉන්නවා. අපි බලන්න ඕනි දැනට ඉන්න කණ්ඩායමෙන් කොහොමද කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්නෙ කියලා. මම හිතනවා මේ අවස්ථාව නවක ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් කියලා. විශේෂයෙන් ඔවුන්ට තමන්ගේ හැකියාවන් පෙන්වන්න මෙය හොඳ වේලාවක්.

“ අපිට මුළින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්  කතා කරලා පෙන්නුවා පාකිස්තානයෙන් ලැබෙන ආරක්ෂක වැඩ පිළිවෙල ගැන. ඉතින් පෞද්ගලිකවම ගත්තොත් මට එහෙම ගැටලුවක් තිබු‍නේ නැහැ එයාලගේ ආරක්ෂක වැඩ පිළිවෙල ගැන. ඔවුන් ආරක්ෂාව හොදටම අපිට ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා යැයි ලහිරු තිරිමාන්න වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නව නායකයා ලෙස පත්වූ දසුන් ශානකද අදහස් දක්වමින් කියා සිටියේ, ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් මෙම තරගාවලියට සහභාගී වන බවයි.

“ ඇත්තටම හොඳ සූදානමක් තියෙනවා. කලින් හිටපු කණ්ඩායම බැලුවම එයින් ක්‍රීඩකයන් 4 දෙනයි විස්සයි 20 කණ්ඩායමෙන් ඉවත් වුණේ. නායකයෙක් විදියට හොද විශ්වාසයක් තියෙනවා මගේ කණ්ඩායම ගැන. අපේ තරුණ ක්‍රීඩකයෝ දිගින් දිගටම දක්ෂතා අතර සිටියා. නමුත් ඔවුන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ ඉදිරියට එන්න. දැන් ඒ  අවස්ථාව ඔවුන්ට උදාවෙලා තියෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 10 දෙනෙකුම සිය පාකිස්තාන සංචාරය ප්‍රතික්ෂේප කිරීමත් සමග නවක ක්‍රීඩකයන් රැසකටම කණ්ඩායමට එක් වීමට අවස්ථාව හිමි විය.

දෙරට අතර පළමු එක්දින තරගය මේ මස 27 වැනිදා පාකිස්තානයේ කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිතය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.