ශ්‍රී ලංකාව විස්සයි 20 දිනන්න මාන බලයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය හෙට ( 01 ) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු විස්සයි 20 තරගයෙන් ආරම්භ වීමට නියමිතය. ටෙස්ට් තරගාවලිය තරග 1-1 කින් සමවීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි 20 තරගාවලිය ජයග්‍රහණයකින් අවසන් කිරීමේ අරමුණින් හෙට දිනයේදී පිටියට පිවිසීමට නියමිතය.

ශ්‍රී  ලංකා නවසීලන්ත විස්සයි 20 ක්‍රිකට්  ඉතිහාසය

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු ජාත්‍යන්තර විස්සයි 20 තරගය මීට වසර 13කට පෙර එනම් 2006 වර්ෂයේ නවසීලන්තයේ වෙලින්ටන් නුවරදී පැවැත්විණ. දෙරට අතර පැවති පළමු විස්සයි 20 තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 18ක ජයක් ලැබීමට සමත් විය. තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 162ක් රැස් කිරීමට සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 163ක ඉලක්කය හමාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග ක්‍රීඩාකළ කලහැකි වූයේ පන්දුවාර 5.5 ක් පමණි. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 62ක් ලබා සිටියේය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි සනත් ජයසූරිය පන්දු 23කදී හයේ පහරක් සහ හතරේ පහර 10ක් සමගින් නොදැවී ලකුණු 51 ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දී තිබීම හේතුවෙන් මෙම තරගය පහසුවෙන්ම ජය ගැනීමට හැකියාව ලැබිණ. එහෙත් නවසීලන්තය සමගින් පැවති දෙවැනි විස්සයි 20 තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කින් පරාජය වීමත් සමග එම තරගාවලිය තරග 1-1කින් සම කර ගැනීමට නවසීලන්තය කණ්ඩායම සමත් විය.

මෙම වසරේ ජනවාරී මාසයේද ශ්‍රී ලංකාව නවසීලන්තයේ සංචාරයකට එක් වූ අතර එහිදී  පැවති විස්සයි 20 තරගයෙන්  කඩුලු 5ක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය සමගින් පැවති අවසන් විස්සයි 20 තරග 3 පරාජය වී තිබීම නිසා  ශ්‍රී ලංකා කණ්ඩායමට මහත් අභියෝගයක් බවට පත්ව තිබේ.

මුහුණට මුහුණ

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම මේ වනවිට විස්සයි 20 තරග 16කදී එකිනෙකා මුහුණට මුහුණ හමුවී ඇති අතර එයින් තරග 8ක ජය නවසීලන්තය සතු වෙද්දී, ශ්‍රී ලංකාව තරග 6ක් ජයග්‍රහණය කර තිබේ. එහෙත් එක් තරගයක් ලකුණු සමවීම හේතු සුපිරි පන්දුවාරයෙන් ජයග්‍රාහකයා තේරීමට සිදු වූ අතර, එම තරගයද ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේය. තවත් එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ  ජයග්‍රහණ 7න් 5ක්ම ලංකාවෙන් පිටතදී වාර්තා කර තිබීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාව අනෙකුත් තරග 2ක මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ජයගෙන ඇති අතර මෙවර තරගාවලියේ සියලු තරග ද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර සටනට එන තුරුම්පු

මෙවර විස්සයි 20  තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලසිත් මාලිංගට පැවරී ඇති අතර ඔහු විස්සයි 20 තරග රටාවේ හොදින් මුවහත් වූ ක්‍රීඩකයෙකු බව සියල්ලන්ම අවිවාදයෙන් තොරව පිළිගන්නා කරුණකි. ඔහු එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමත් සමග වැඩි කාලයක් විස්සයි 20 තරග රටාවට යොමු කිරීමට ඔහු පියවර ගෙන තිබේ. අත්දැකීම් බහුල ලසිත් මාලිංගට අභියෝග කරමින් නවසීලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති වෙත පැවරීී තිබේ. කේන් විලියම්සන් විස්සයි 20 තරගාවලියේදී විවේක ගැන්වීමත් සමග ඔහු කණ්ඩායමේ නායකයා වශයෙන් පත් කිරීමට නවසීලන්ත තේරීම් කමිටුව පියවර ගත්තේය.

කුසල් ජනිත් පෙරේරා

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන පිතිකරුවන් දෙස අවධානය යොමු කිරීමේදී එහි පෙරමුණින්ම පසුවනුයේ වමතින් පිත්ත හසුරුවන කුසල් ජනිත් පෙර්රාය. කළක සිට ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ ආරම්භක පිතිකරු භූමිකාවට පන පොවන කුසල් ජනිත් පෙරේරා , ජාත්‍යන්තර විස්සයි 20 තරග 36කදී ලකුණු 1046ක් රැස් කර ගැනීමට සමත්ව ඇත. එයට අර්ධ ශතක 10 ඇතුළත්ව තිබේ.  විස්සයි 20 ක්‍රිකට් පිටියේ ඔහුගේ හොඳම ඉනිම ලෙස සටහන් වනුයේ 2013 වසරේ පකිස්තානයට එරෙහිව ඔහු පන්දු 59කදී වාර්තා කළ ලකුණු 84 වේ. එයට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් විය. ඔහුගේ අවසන් විස්සයි 20 ඉනිම් 10 දෙස බැලීමේදි ඔහු එහිදී අර්ධ ශතක 4ක් සමගින් ලකුණු 334ක් ලබාගෙන තිබේ.

මාටින් ගප්ටිල්

නවසීලන්ත කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙකු වන ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් මෙවර ශ්‍රී ලංකාවට යම් තර්ජනයක් එල්ල කළහැකි ක්‍රීඩකයෙකු බව ක්‍රිකට් විචාරකයෝ මතපළ කරති. මේ වනවිට විස්සයි 20 තරග 76කට පමණ ක්‍රීඩාකර ඇති මාටින් ගප්ටිල් එහිදී පිතිකරණ සාමාන්‍ය 33.91 ක වේගයක් පවත්වා ගනිමින් ලකුණු 2272 රැස්කිරීමට සමත්ව ඇත. ඔහු එහිදී ශතක 2ක් සහ අර්ධ හතක 14ක් ලබා ගැනීමට සමත්ව ඇත. ඔහුගේ විස්සයි 20 පිටියේ හොඳම ඉනිම ලෙස සටහන්ව ඇත්තේ, ඕස්ට්‍රේලියාවට එරෙහිව 2018 වසරේ ලබාගත් ලකුණු 105යි. එයට හයේ පහර 9ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය.

ලසිත් මාලිංග

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය සපයන ලසිත් මාලිංග, විස්සයි 20 තරග රටාවේ තරග රාශියක් උඩියටිකුරු කළ ක්‍රීඩකයෙකි. මෙ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ  රැදී සිටින වයස්ගතම ක්‍රීඩකයා වන ලසිත් මාලිංගට අභියෝග කිරීමට තරම් ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනත් පන්දු යවන්නෙකු මෙතෙක්  බිහිවී නොමැත. මේ නිසාම ඔහුගේ අත්දැකීම් සමග මෙවර තරගාවලියේදී නවසීලන්තයට විශාල අභියෝගයක් ලබා දීමට හැකියාව ඇති අතර ඔහු විස්සයි 20 තරග 73කදී  කඩුලු 97ක් දවාලීමට සමත්ව ඇත. විස්සයි 20 ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයන් අතර කඩුලු 98ක් ලබා ගනිමින් මේ වනවිට පෙරමුණේ පසුවන්නේ පකිස්තාන හිටපු තුන්ඉරියව් ක්‍රීඩක ෂයිඩ් අෆ්රිඩිය. ඔහුව අභිබවා යාමට ලසිත් මාලිංගට තවත් අවශ්‍ය ඇත්තේ, කඩුලු 2ක් පමණි. එසේම මෙම තරගාවලිය තුලදී ඔහුට තවත් කඩුලු 3ක් ලබා ගැනීමට හැකි වන්නේ නම් ජාත්‍යන්තර විස්සයි 20 තරග බිමේ කඩුලු 100ක් සම්පූර්ණ කළ පළමු ක්‍රීඩකයා බවට පත් වීමට හැකියාව තිබේ. ඔහු එසේ කඩුලු 100 ක් සම්පූර්ණ කිරීමට සමත් වන්නේ නම්, ටෙස්ට්, එක්දින හා විස්සයි 20 යන තරග අංශ තුනේම කඩුලු 100ක් බැගින් ලබාගත් පළමු ක්‍රීඩකයා බවට ඉතිහාසයට ද එක්වනු ඇත.

ටිම් සවුති

නවසීලන්ත කණ්ඩායමේ මේවනවිට රැදී සිටින පන්දු යවන්නන් අතර ටිම් සිවුතිට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ඔහු පසුගියදා පැවති දෙවනි ටෙස්ට් තරගයේදී ද ශ්‍රී ලංකාවට එරෙහිව තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වෙමින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට කටයුතු කළේය. මේ වනවිට විස්සයි 20 තරග 58කට ක්‍රීඩා කරමින් එහිදී බිදහෙලා ඇති කඩුලු සංඛ්‍යාව 67කි.

විස්සයි 20 න් විසිවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ

මෙවර විස්සයි 20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන් නායකයන් තිදෙනෙකුමට සිය කණ්ඩායමේ ස්ථානය අහිමිව ඇත. ඒ අතර ඇන්ජලේ මැතිවුස් විවේක ගැන්වීමේ අරමුණින් මෙම තරගාවලියට එක්කර නොමැති මුත් තිසර පෙරේරාට සහ දිනේෂ් චන්දිමාල්ට ද කණ්ඩායමේ ස්ථානයක් හිමිව නැහැ. මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ රැදී සිටින ක්‍රීඩකයන් අතර ලසිත් මාලිංගට පසුව විස්සයි 20 තරග රටාවේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන්නේ තිසර පෙරේරාය. ඔහු අවසන් වරට ක්‍රීඩා කළ ඉනිම් 10 තුළදී අර්ධ ශතක 3ක් සමගින් ලකුණු 283ක් ලබා ගැනමට සමත්ව ඇත.

පල්ලලෙකැලේ ක්‍රීඩාංගණයේ වාසිය කාටද ?

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි 20 තරග 3ම මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම ක්‍රීඩාංගණය තුළදී, ශ්‍රී ලංකා කණ්ඩායම තරග 11 ක් ක්‍රීඩා කර, ඉන් තරග 7 ක් ජය ගෙන තරග 2 ක් පරාජය වී තිබේ.  නවසීලන්තය තරග හතක් ක්‍රීඩා කර, ඉන් ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණි. මෙම ක්‍රීඩාංගණයේ පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායම ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 10ක් වන අතර මුලින්ම පන්දු යැවූ කණ්ඩායම ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 4කි. ඒ අනුව කාසියේ වාසිය ජයග්‍රහණය කරන්නේ නම් පළමුව පන්දුවට පහර දීම වඩාත් උචිතය. මෙම ක්‍රීඩාංගණය තුළදී  විස්සයි 20 තරග රටවේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇත්තේ ටී.ම්. දිල්ශාන්ය. ඔහු  තරග 10 කදී ලකුණු 334 ක් රැස් කිරීමට සමත්ව ඇත. මෙම ක්‍රීඩාංගනයේ විස්සයි 20 තරග වලදී වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයා වන්නේ පසුගියදා ක්‍රිකට් පිටියෙන් සමුගත් අජන්ත මෙන්ඩිස්ය. ඔහු  තරග පහකදී කඩුලු 10ක් බිද හෙලීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය ලසිත් මාලිංග ( නායක ), නිරෝෂන් දික්වැල්ල ( උප නායක ), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිදු හසරංග , අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රාජිත, ලහිරු කුමාර, ලහිරු මධුෂංක

නවසීලන්ත විස්සයි 20 සංචිතය ටිම් සවුති ( නායක ), ටොඩ් අස්ට්ල්, ටොම් බ්රුස්, කෝලින් ද ග්‍රෑන්ඩ්හෝම්, ලොකී ෆර්ගිවුසන්, මාටින් ගප්ටිල්, ස්කොට් කග්ලෙජින්, ඩැරල් මිචෙල්, කෝලින් මන්රෝ, සෙත් රාන්ස්, මිචෙල් සැන්ටර්, ටිම් සෙයිෆර්ට්, ඉෂ් සොධි, රොස් ටේලර්

තරග කාල සටහන

සැප්තැම්බර් 1 වැනිදා – පළමු විස්සයි 20 තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 3 වැනිදා – දෙවැනි විස්සයි 20 තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී

සැප්තැම්බර් 6 වැනිදා – තෙවැනි විස්සයි 20 තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී

–  සටහන සමීර ගොඩපිටිය

 

 

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.