ටෙස්ට් ලෝක ශූරතාවේ ශ්‍රී ලංකා ගමන් මග

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ලෝකයට හඳුන්වා දුන් අළුත්ම තරගාවලිය බවට පත්ව තිබෙන අයි. සී. සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ එළිපත්තටම ශ්‍රී ලංකාව දැන් පැමිණ සිටියි. නවසීලන්ත කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය එම ලෝක ශූරතා ගමනේ ශ්‍රී ලංකා පළමු කඩ ඉම වන්නේය.

ගෙවී ගිය මාස 3 කට ආසන්න කාලයේදී සුදු පන්දුව භාවිතයෙන් පැවැති එක්දින තරග රටාවට හුරුවී සිටින ශ්‍රී ලංකාව මෙන්ම නවසීලන්ත මෙම තරගාවලියේදී මුහුණ දෙනු ලබන ප්‍රධානතම ගැටළුව බවට පත්ව තිබෙන්නේ වර්ණ ඇඳුම් සහ සුදු පන්දුව වෙනුවට සුදු වර්ණයෙන් සැරසී රතු පන්දුවෙන් තරග වැදීමට හුරු වීමය.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් 2001 වසරේ පැවැති ආසියානු ටෙස්ට් ශූරතාවලියට පසුව කණ්ඩායම් 3 කට වඩා වැඩි සංඛ්‍යාවක් තරග වදින ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් නම් ඒ මෙවර පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතාවලියයි.  මෙවර තරගාවලිය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් වරම් ලද රටවලින් 12 න් රටක් තරග වදින අතර තරගාවලිය වසර 2 ක් තිස්සේ පැවැත්වීම විශේෂත්වයකි. 2018 වසරේ මාර්තු 31 වැනිදා වන විට ලෝක ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ ඉදිරියෙන් සිටි රටවල් 9, මෙම ටෙස්ට් ලෝක ශූරතාව සඳහා සුදුසුකම් ලබා සිටියි.

ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය පළමු ටෙස්ට් ලෝක ශූරතාවට තරග වැදීමට වරම් ලබා සිටින රටවල් බවට පත්ව සිටිති. ඒ අනුව මෑතකදී ටෙස්ට් වරම් ලද අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානයට අමතරව සිම්බාබ්වේ යන රටවල් මෙම සුවිශේෂී තරගාවලියට ක්‍රීඩා කිරීමේ වරම හිමිව නැත.

තරගාවලියේ ව්‍යුහය දෙස බැලීමේදී එක් කණ්ඩායමක් ප්‍රතිවාදී කණ්ඩායම් 8 දෙනාගෙන් 6 දෙනෙකු සමඟ ක්‍රීඩා කිරීම අනිවාර්ය වන්නේය. එයට සත්කාරකත්වය දරන තරගාවලි 3 ක් සහ සිය මව්බිමෙන් එතෙර පැවැත්වෙන තරගාවලි 3 කට වශයෙන් සමසේ සහභාගි විය යුතුය. ඒ අනුව එම තරගාවලිවලදී දක්වන ලද දක්ෂතා මත ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 2 එම අවසන් මහ තරගයට තරග වැදීම සඳහා සුදුසුකම් සපුරනු ඇත. එම අවසන් මහ තරගය ලබන 2021 වසරේ ජුනි මස දී එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී පැවැත්වෙනු ඇත.

ඉකුත්දා අවසන් වුණු ලෝක කුසලාන අවසන් මහ තරගයේදී මෙන් නොව යම් ලෙසකින් මෙම සුවිශේෂී වූ අවසන් මහ තරගය ජය පැරදුමෙන් ‍තොරව අවසන් වුවහොත් එම කණ්ඩායම් 2 ටම සම ශූරයින් ලෙස කිරුළ පැළඳීමේ අවස්ථාව හිමිවනු ඇත. මෙම ලෝක ටෙස්ට් ශූරතාවේදී තරග වදිනු ලබන කණ්ඩායම් අවම වශයෙන් තරග 2 කින් හෝ උපරිම වශයෙන් තරග 5 කට සීමා වුණු ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කිරීමට නියමිත වනු ඇත. වසර 2 ක කාලයක් පුරා පැවැත්වෙන මෙම ටෙස්ට් ලෝක ශූරතාව තරගාවලි 27 කින් සමන්විත වන අතර එහිදී ටෙස්ට් තරග 71 ක් ඇතුළත්ව තිබේ.

තරගාවලියේ ඇති සුවිශේෂීතාව වන්නේ එකම කණ්ඩායමක් හෝ එක හා සමාන ලෙසින් ටෙස්ට් තරග සංඛ්‍යාවකට ක්‍රීඩා නොකිරීමය. ඒ සඳහා උදාහරණ සපයන්නේ නම් අදාළ තරගාවලිය ක්‍රියාත්මක කාලය ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලි 5 කට සහ තරග 3 කින් සමන්විත තරගාවලියකට ක්‍රීඩා කරද්දී ක්‍රිකට් උපන් රට ලෙසින් සැලකෙන වත්මන් එක්දින ලෝක ශූරයින් ලෙසින් සැලකෙන එංගලන්තය එම කාල සීමාවේදී ටෙස්ට් තරග 22 කට ක්‍රීඩා කිරීමයි.

ඒ සියළු කරුණුවලින් කියා පානුයේ අයි. සී. සී. ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ සමබරතාව රඳවා ගැනීමේ ක්‍රියාවලිය සඳහා තරග වදිනු ලබන තරග සංඛ්‍යාව කිසිසේත්ම අදාළ නොවන බවයි. තරගාවලියේ කාල සටහන දෙස මතු පිටින් බැලූ බොහෝ දෙනෙකුට පැන නැගුණු ගැටළුව බවට පත් වූයේද මෙය වන අතර බොහෝ දෙනා ප්‍රශ්න කර සිටියේ අඩු තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරන විට ප්‍රසාද ලකුණු සටහනෙහි වැඩි ඉඩ කඩක් තරගවලට වැඩියෙන් සහභාගිවන කණ්ඩායම් වලට හිමිවන බවයි.

එහෙත් එය පූර්ණ වශයෙන් මුලාවේ වැටීමකී. එම තත්ත්වය තවදුරටත් පැහැදිළි කරන්නේ නම්, මෙම ටෙස්ට් ලෝක ශූරතාවලියේ ලකුණු හිමි වන්නේ එක් එක් ටෙස්ට් තරගයට නොව ටෙස්ට් තරගාවලියටම වීමය. එහිදී එක් ටෙස්ට් තරගාවලියක් සඳහා ප්‍රසාද ලකුණු 120 ක් වෙන් වන අතර එහි එක් තරගයක් සඳහා ප්‍රසාද ලකුණු සංඛ්‍යාව තීරණය වනු ලබන්නේ එම තරගාවලියේ පැවැත්වෙන ටෙස්ට් තරග සංඛ්‍යාව අනුව වේ. එය ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගාවලියට සංසන්දනය කරන්නේ නම් මෙහි එක් ටෙස්ට් තරගයක් සඳහා ප්‍රසාද ලකුණු 60 ක් පිරිනැමෙනු ඇත.

යම් ලෙසකින් මෙම තරගාවලිය යටතේ පැවැත්වෙන එක් ටෙස්ට් තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වුවහොත් ජයග්‍රහණයේදී ලැබෙන ප්‍රසාද ලකුණු 60 න් අඩක් හෙවත් ලකුණු 30 බැගින් කණ්ඩායම් දෙකටම හිමිවනු ඇත. එමෙන්ම ජය පැරදුමෙන් තොර වූ තරගයක් සඳහා ජයග්‍රහණයේදී ලැබෙන ලකුණු සංඛ්‍යාවෙන් තුනෙන් එකක ප්‍රමාණයක් අතර කණ්ඩායම් 2 අතරේ බෙදී යන අතර කණ්ඩායම් 2 ට ම ප්‍රසාද ලකුණු 20 බැගින් හිමිවනු ඇත.

මෙය තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සංසන්දනය කිරීමේදී සමස්ථ තරගාවලියට හිමි ප්‍රසාද ලකුණු 120 න් එම තරග සංඛ්‍යාව බෙදිය යුතු වේ. ඒ අනුව එක් තරගයකට වෙන්වන්නේ ප්‍රසාද ලකුණු 24 ක් පමණි.

මෙම ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා පළමු සටන ලබන 14 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැනි සටන ලබන 22 වැනිදා පී. සරා ඕවල් පිටියේදී ආරම්භ වනු ඇත. අදාළ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව හැරුණු කොට සෙසු රටවල් සියල්ල සමඟ තරග වැදීමට නියමිතව තිබේ. ඒ අනුව නවසීලන්තය, පාකිස්තානය, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමග තරග 2 කින් සමන්විතවද බංග්ලාදේශය සමඟ තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකටද සහභාගිවීමට නියමිතය.

ශ්‍රී ලංකා – ක්‍රිකට්

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.