බංග්ලාදේශයට ලකුණු 295 ඉලක්කයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමාදාස ක්‍රීඩාංගණයේ  පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 294 රැස් කිරීමට සමත් විය.

සිය එක්දින ක්‍රිකට් පිටියේ 40 වැනි අර්ධ ශතකය වාර්තා කළ ඇන්ජලෝ මැත්වුස් පන්දු 90 කදී හයේ පහරක් හා හතරේ පහර 8ක් සමගින්  ලකුණු87 රැස් කිරීමට සමත් විය. 42 වැනි පන්දුවාරයේ සිට 46 වැනි පන්දුවාරය තෙක් ඇන්ජලෝ මැතිවුස්ට අනගි සහයක් ලබාදුන් දසුන් ශානක පන්දු 14කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 30 ක් රැස් කිරීමට සමත් වූයේ ප්‍රදර්ශනාත්මක පිතිහරඹයක නිරත වෙමිනි.

දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළ කුසල් මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිවුස් අද දිනයේද සිව්වන කඩුල්ල සඳහා ලකුණු 101 ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා මැද පෙළ ශක්තිමත් කළේය. සෞම්‍ය සකර්ගේ පන්දුවක් හමුවේ සබීර් රෙහ්මාන්ගේ අතට උඩපන්දුවක් ලබා දීම නිසා කුසල් මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 54 කට සීමා විය. ඔහු දැවී යනවිට එක් හයේ පහරක් සහ හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.

දෙවැනි එක්දින තරගයට හාත්පසින්ම වෙනස් කණ්ඩායමක් සමගින් තරගයට ප්‍රවිෂ්ඨ වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක කඩුල්ල සඳහා ගොඩ නැංවිය හැකි වූයේ ලකුණු 13ක් පමණි. දෙවැනි එක්දින තරගය ජයග්‍රහණය වෙත රැගෙන යමින් වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ අවිශ්ක ප්‍රනාන්දුට මෙම තරගයේදී රැස්කර ගතහැකි වූයේ ලකුණු 6ක් පමණි. අවිශ්කගේ දැවී යාමෙන් පසු පිටියේ එක් වූ නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 86ක සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ජීවයක් ලබා දුන්හ.

දිමුත් කරුණාරත්න පන්දු 60කදී ලකුණු 46ක් සමගින් සිය අර්ධ ශතකය පෙනී පෙනී තිබියදී අපරික්ෂාකාරී පහරකට යොමු වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්යඩාමේ දෙවැනි කඩුල්ලද බිද වැටුණි. දිමුත් පිටියෙන් ඉවත් කොට නොබෝ වේලාවක් යාමට මත්තෙන් කුසල් ජනිත් පෙරේරා ද නැවතත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට බංග්ලදේශ පන්දු යවන්නෝ සමත් වූහ. කුසල් ජනිත් පෙරේරා දැවී යනවිට පන්දු 51 කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 42ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී සෞම්‍ය සකාර් ලකුණු 56 කට කඩුලු 3ක් සහ ෂයිෆුල් ඉස්ලාම් ලකුණු 68කට කඩුලු 3 බැගින් බිද හෙලූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසියේ වෙනස්කම් 4ක් සමගිනි. ඒ අනුව ළහිරු තිරිමාන්න, නුවන් ප්‍රදීප්, ධනංජය ද සිල්වා සහ ඉසුරු උදාන වෙනුවට ෂෙහාන් ජයසූරිය, කසුන් රාජිත, වනිදු හසරංග ද සිල්වා සහ දසුන් ශානක අද කණ්ඩායම එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගත්තේය.

 ශ්‍රී ලංකා ඉනිම – පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 කට ලකුණු 294

( දිමුත් කරුණාරත්න 46, කුසල් පෙරේරා 42, කුසල් මෙන්ඩිස් 54, ඇන්ජලෝ මැතිවුස් 87, දසුන් ශානක 30, සෞම්ෂ‍ය සකර් 56/3, ෂයිෆුල් ඉස්ලාම් 68/3 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.