ඓතිහාසික අළු බඳුන ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ

දීර්ඝ ක්‍රිකට් ඉතිහාසයක් හිමිකම් කියන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළු බදුන ක්‍රිකට් තරගාවලිය හෙට ( 01 ) එංගලන්තයේ බර්ම්න්හැම්හිදී ආරම්භ වීමට නියමිතයි. වත්මන් ලෝක ශූරයන් ලෙස  මෙවර තරගාවලියට පිවිසෙන එංගලන්තය, තරගාවලියට පෙරාතුවම අයර්ලන්තය හමුවේ හොඳ පෙර පුහුණුවක් ද ලබා ගත්තේය. ඔස්ට්‍රේලියාවද ශක්තිමත් කණ්ඩායමක් සමගින් ජයග්‍රහණයෙන් වියරු වී සිටියි. මේ හේතුවෙන් මෙවර තරගාවලිය වඩාත් උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව විචාරකයන් මතපළ කරමින් සිටිති. ලෝක ටෙස්ට් ශූරතාවය ද පළමු වරට ක්‍රිකට් කරළියට දායද කරමින් මෙවර අළු බඳුන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතය.

ලොව පැරණිම ක්‍රිකට් තරගාවලියක් වන අලු බදුන ක්‍රිකට් තරගාවලියේ ඉතිහාසය වසර 137ක් පමණ ඈතට දිව යන්නකි. ක්‍රි.ව 1882 දී ආරම්භ වූ අලු බඳුන ක්‍රිකට් තරගාවලිය  දෙවසරකට වරක් ඕස්ට්‍රේලියාවේ දී හෝ එංගලන්තයේ පැවැත්වේ. ක්‍රිකට් ග්‍රීස්ම සෘතුවේ කෙරෙන ක්‍රීඩාවක් බැවින් විරුද්ධ අර්ධ ගෝලයන්හි මාස 18 හෝ 30 කට සැරයක් මෙය පවත්වනු ලැබේ.

අළු බදුනට නම ලැබුණු හැටි

1882 වර්ෂයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම එංගලන්තයේ තරග සංචාරයක නිරත විය. ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරගයේදී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී  රැස්කර ගතහැකි වූයේ ලකුණු 63ක් පමණි. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ බිලී මර්ඩච්, ජැක් බ්ලැක්හම් සහ තෝමස් විලියම් හැරෙන්නට සෙසු පිතිකරුවන් 8 දෙනාම ලකුණු 10 සීමාවත් පසුකර යාමට එංගලන්ත පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ.

ඒ. එන් හර්බිගේ නායකත්වයෙන් යුතු එංගලන්ත කණ්ඩායමට ද සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 101 ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ෆෙඩ්‍රික් රොබර්ඩ් ලකුණු 46කට කඩුලු 7ක් බිද හෙලීමට සමත් විය.

ලකුණු 35ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට දෙවැනි ඉනිම සඳහාද සියලු දෙනාදැවී ලබාගත හැකි වූයේ ලකුණු 122ක් පමණි. ලකුණු 85ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 77ක් පමණි.  ඒ අනුව එංගලන්තයට නොසිතූ පරාජයකට මුහුණ දීමට සිදුවීම නිසා එංගලන්තේ පුවත්පත් වලට මෙය දරාගත නොහැකි හේතුවක් බවට පත්විය. එහි ප්‍රතිඵලයක් ලෙස තරගයට පසුවදාම “ද ස්පෝර්ටින්ග් ටයිම්ස්”( The Sporting Times පුවත්පතේ අපූරු සටහනක් පලවිය.

The Sporting Times පුවත්පතේ පළවු දැන්වීම

එහි සටහන් වූයේ ඉංග්‍රීසි ක්‍රිකට කලුරිය කල ඇති බවත් ආදාහනයෙන් පසු එහි අළු ඕස්ට්‍රේලියාවට රැගෙන යන බවත්ය. ඊලග ඕස්ට්‍රේලියානු සංචාරය සංවිධානය කර තිබුණේද  එම අලු බදුන නැවත තම රට ගෙන ඒමටයි.එම ඕස්ට්‍රේලියානු තරගාවලිය එංගලන්තය ජයග්‍රහනය කළ අතර , ඉන් ශෝකයට පත් මෙල්බෝර්න් නුවර කන්තා කණ්ඩායමක් අයිවෝ බ්ලයිග්ට මැටි මිශ්‍ර පිගන් ගඩොලින් සෑදූ බදුනක් පිරිනැමීමට තීරණය කළේය. තරගයට යොදා ගත් බේල්ස් පිච්චීමෙන් ලබාගත් අලු එම බදුන තුල ඇතෙයි සැලකුනු අතර, එම බදුන සදහා දෙරට අතර ක්‍රිකට් ගැටුමක් ඉන් අනතුරුව ආරම්භ විය.

මෙම බඳුනේ අනුරුව බඳුන් සංකේතයක් ලෙස ජයග්‍රාහී කණ්ඩායමට තිළිණ කළ ද සැබෑ බඳුන කිසිවිටකත් ප්‍රදර්ශනය කිරීමවත්,තිළිණ කිරීමවත් නොකෙරුනි.එම මුල් බඳුන ලෝඩ්ස්හි මෙල්බෝර්න් ක්‍රිකට් සමාජයේ කෞතුකාගාරයේ කෞතුක වස්තුවක් ලෙස තැම්පත් කර ඇත.

දෙරට අතර මුහුණට මුහුණ

මේ වනවිට පවත්වා ඇති තරගාවලි අතරින් වැඩිම තරගාවලි සංඛ්‍යාවක ජයග්‍රාහකයන් බවට පත්ව ඇත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. ඔවුන් තරගාවලි 33ක ජය තමන් සතු කර ගනිද්දී, එංගලන්තය විසින් තරගාවලි 32ක ජය තහවුරු කර ගැනීමට සමත්ව ඇත. අවසන් වරට පවත්වන ලද තරගාවලි 10 අතරින් තරගාවලි 4කම ජය ඕස්ට්‍රේලියානු කණ්ඩායම සතු වී ඇති එතර නිමාවට පත්වූ 2017/18 තරගාවලියේදී තරග 4-0 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය. එංගලන්තය අවසන් වරට අලු බදුන තරගාවලියක් ජයග්‍රහණය කරන ලද්දේ 2015 වසරේදීය. අළු බඳුනක්‍රිකට් තරගාවලිය තුළදී වැඩිම ලකුණු රැස්කල පිතිකරුවන් අතර පෙරමුණ පසුවන්නේ ඔස්ට්‍රේලියවේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ය. ඔහු ලකුණු 5028ක් රැස් කිරීමට සමත්ව ඇත. වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ පසුවන්නේ ද ඕස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක ශේන් වෝන්ය. ඔහු බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 195කි.

මෙවර අළු බඳුන තරගාවලියට එන වාසනාවන්තයෝ

2017/18 තරගාවලියේදී එංගලන්තය තරග 4-0 කින් පරාජයට පත්කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම

අලු බඳුන ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තය වෙනුවෙන් පිට පිට දෙවැනි වරටත් කණ්ඩායම මෙහෙයවීමට ජෝ රූට්ට අවස්ථාව ලැබී ඇත. ඔහු 2017/18 තරගාවලියේදී ද එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමට අවස්ථාව උදාකර කර ගත්තේය.  ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මෙවර කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ටිම් පේන් විසිනි. ලෝක ක්‍රිකට් කිරුළ එංගලන්තයට දිනා දීමට අවසන් තරගයේදී විශිෂ්ට සේවාවක් කළ බෙන් ස්ටොක්ස්ට මෙවර එංගලන්ත කණ්ඩායමේ උප නායකත්වය හිමිව තිබේ. වත්මන් එංගලන්ත කණ්ඩායමේ සිටින වේගපන්දු යවන්නන් අතරින් වඩාත් තර්ජනාත්මක අයුරින් පන්දු යැවීමේ රටාවකට හුරුව සිටින ජොෆ්රා ආචර් ද මෙවර අලු බඳුන ක්‍රිකට් තරගාවලියෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිතව ඇත.

2018 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී තරග තහනමට ලක්වූ ඕස්ට්‍රේලියානු හිටපු නායක  ස්ට්ව් සමිත්, හිටපු උප නායක ඩේවිඩ් වෝනර් හා කැමරන් බ්‍රැන්කොෆ්ට් යන තිදෙනාම මෙවර අළු බඳුන තරගාවලියට එක්කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ස්ටිව් ස්මිත් හා ඩේවිඩ් වෝනර් පසුගියදා නිමාවට පත්වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද දක්ෂතා තරට ඒමට සමත් වූහ.

එංගලන්ත සංචිතයජෝ රූට් ( නායක ), බෙන් ස්ටොක්ස් ( උප නායක ), මොයින් අලී, ජේම්ස් ඇන්ඩසන්, ජෝෆ්රා ආචාර්, ජොනී බෙයාර්ස්ටොව්, ස්ටුවට් බ්‍රොඩ්, රොරි බර්න්ස්, ජොස් බට්ලර්, සෑම් කරන්, ජෝ ඩෙන්ලි, ජේසන් රෝයි, ඔලි ස්ටෝන්, ක්‍රිස් වෝක්ස්

ඕස්ට්‍රේලියානු සංචිතයටිම් පේන් ( නායක ), පැට් කමින්ස් ( උප නායක ), ට්‍රැවිස් හෙඩ් ( උප නායක ), කැමරන් බ්‍රැන්කෝෆ්ට්, මාකස් හැරිස්, ජෝස් හේසල්වුඩ්, උස්මන් කවාජා, මානස් ලැබුෂේන්, නේතන් ලයන්, මිචෙල් මාෂ්, මයිකල් නේසර්, ජේම්ස් පැට්න්සන්, පෙටර් සිඩ්ල්, ස්ට්ව් ස්මිත්,මිචෙල් ස්ටාක්, මැතිවු වේඩ්, ඩේව්ඩ් වෝනර්

තරග කාල සටහන

අගෝස්තු 1 – 5 – පළමු ටෙස්ට් තරගය බර්ම්න්හැම්හීදී

අගෝස්තු 14- 18 – දෙවැනි ටෙස්ට් තරගය ලෝඩ්ස්හිදී

අගෝස්තු 22-26 – තෙවැනි ටෙස්ට් තරගය ලීඩ්ස්හිදී

සැප්තැම්බර් 4-8 – සිව්වන ටෙස්ට් තරගය – මැන්චෙස්ටර්හිදී

සැප්තැම්බර් 12- 16 – පස්වන ටෙස්ට් තරගය – ද ඕවල් හිදී

සටහන – සමීර ගොඩපිටිය 

 

 

 

 

 

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.