ක්‍රිකට් හැර වෙනත් ක්‍රීඩා ද මේ මිහිමත ඇත ! දැල්පන්දු ලෝක කුසලානයට ශ්‍රී ලංකාව පිටත් වේ

සහන් කසීර වික්‍රමසිංහ

ජූලි මස 12 – 21 වැනිදා දක්වා එංගලන්තයේ ලිවර්පූල් හි දී පැවැත්වෙන “2019 දැල්පන්දු ලෝක කුසලානය” සඳහා පිටත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි උපරිමයෙන් ක්‍රීඩා කිරීමට උණුසුම් සුබ පැතුම් පිරි නමමු.

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ තරග වදින කාණ්ඩයේ අනෙක් රටවල් වන්නේ ඔස්ට්‍රේලියාව , උතුරු අයර්ලන්තය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් ය. පසු ගිය ලෝක සූරියන් වූ ඔස්ට්‍රේලියාව මේ වන විට ලොව අංක 1 ශ්‍රේණිගත කිරීම්හි රැඳී සිටින අතර ලෝක කුසලාන ඉතිහාසයේ තරහාවලි 14 න් 11 ක් ම සූරතාව දිනූ කණ්ඩායම ය. උතුරු අයර්ලන්තය මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම් අතර 9 වැනි ස්ථානයේ ද සිම්බාබ්වේ කණ්ඩායම 14 වැනි ස්ථානයේ ද පසු වන විට ශ්‍රී ලංකාව පසුවන්නේ 19 වැනි ස්ථානයේ ය.

ලෝක සූර ඔස්ට්‍රේලියාව සමග තරගය ඉතා අසීරු වුවද ශ්‍රී ලංකා කණ්ඩායමට උතුරු අයර්ලන්තය සහ සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරග සාපේක්ෂව වැදගත් වන්නේ ඒ එක් තරගයක් හෝ ජය ගතහොත් ඊ ළඟ වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාවක් ඇති බැවිනි. ලෝක ශ්‍රේණිගත කිරීම් වලට සුදුසුකම් ලබන අනෙක් ජාත්‍යන්තර තරගවලට සහභාගී වීමේ අවස්ථාවක් හිමි නොවන ශ්‍රී ලංකා කණ්ඩායම ට තම තත්ත්වය ඉහළ නංවාගැනීමට ඇති කදිම අවස්ථාව මෙය වනු ඇත.

ලෝක කුසලානය ඉලක්ක කරගත් පුහුණු තරගාවලි සැසි දෙකකින් පමණක් සෑහීමකට පත් වන්නට සිදු වුවද ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියට අදිටනින් සහ ධෛර්යයෙන් මුහුණ දෙනු ඇතැයි ද තම උපරිම දක්ෂතා ප්‍රකට කරමින් අපගේ බලාපොරොත්තු වලට සාධාරණයක් ඉෂ්ඨ කරනු ඇතැයි ද විශ්වාස කරමු.

ආසියානු සූරියන් ලෙස මාස කීපයකට පෙර සිටම ලෝක කුසලානයට නිතැතින් සුදුසුකම් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මේ රටේ සහ අමාත්‍යංශ වල වගකිවයුත්තන්ගේ කාර්යක්ෂමතාවයේ ආනුභාවයෙන් පසුගිය සතිය වනතුරුම වීසා නොමැතිව අපහසුතාවට ලක් වූ බව ද සිහිපත් කළ යුතුමය .

මිත්‍රවරුනි ;
ක්‍රිකට් ක්‍රීඩාව හැරුණු විට අනෙක් ක්‍රීඩා වලට ද ලෝක කුසලාන තරගාවලි පැවැත්වෙන බවත් ඒ සමහර තරගාවලි වලට ශ්‍රී ලංකාවද සහභාගී වන බවත් ඔබ දන්නවාද ?

මේ දූපතේ සෑම බාලිකා පාසලකම පාහේ පවතින දැල්පන්දු ක්‍රීඩාවේ ලෝක කුසලානය උරගා බලන්නට අපේ යුවතියන් රොත්තක් ද හිරු නොබසින අධිරාජ්‍යය වෙත ඉගිල ගිය බව ඔබ දන්නවාද ?

ජයෙන් ජය !

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.