31 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල අද සිට අනුරාධපුරයේදී

තාරුණ්‍යයේ ක්‍රීඩා හැකියාවන්ට අවස්ථාවක් දෙමින් ඔවුන්ගේ දක්ෂතා උරගා බැලෙන ‘සිව් දිග තාරුණ්‍යයේ මහා ක්‍රීඩා මංගල්‍යය’ ලෙස හැඳින්වෙන ජාතික යෞවන ක්‍රීඩා උළෙල 31 වැනි වරට අද (27) අනුරාධපුර උතුරු මැද පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

මාර්තු මස 1 වැනිදා දක්වා පැවැත්වෙන ක්‍රීඩා උළෙල ජාතික තරුණ සේවා සභාව, අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධාන කරයි.

මේ සඳහා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000ක් සභාගීවීමට නියමිත අතර ඔවුන් අවුරුදු 20න් ඉහළ සහ 20න් පහළ ලෙස වයස් කාණ්ඩ 2ක් යටතේ ජවන හා පිටිය තරග ඉසව් 68කදී තරග වදිති.

මෙවර ක්‍රීඩා උළෙලේදීත් වයස් කාණ්ඩ දෙකෙහි දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවුදෙනාට වටිනා යතුරුපැදි හතරක් පිරිනැමෙන අතර නව ශ්‍රී ලංකා තරග වාර්තාවක් වෙනුවෙන් රු 50,000ක්ද, ජාතික යෞවන ක්‍රීඩා තරග වාර්තාවක් වෙනුවෙන් රු10,000ක්ද ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන දැල්වීම අවසන් වරට පැවැති (2018) 30 වැනි ක්‍රීඩා උළෙලේ අවුරුදු 20න් පහළ කාන්තා තුන් පිම්ම තරග ඉසව්වෙන් මීටර් 11.95ක දක්ෂතාවක් දක්වමින් දක්‍ෂතම ක්‍රීඩිකාව වූ නාගරික තාරුණයා දිස්ත්‍රික්කයේ වී.ආර් හිමාෂා කුරේ, 20න් පහළ පිරිමි මීටර් 200 ඉසව්වෙන් නව තරග වාර්තාවක් (තත්.21.33) බිහි කරමින් දක්ෂතම ක්‍රීඩකයා වු මාතලේ දිස්තික්කයේ එස්.පී.අරුණ දර්ශන, 20න් ඉහළ කාන්තා මීටර් 400 ඉසව්ව තත්.54.52කින් නිමා කරමින් දක්ෂතම ක්‍රීඩිකාව වු හම්බන්තොට දිස්ත්‍රික්කයේ නදීෂා රාමනායක සහ 20න් ඉහළ පිරිමි උස පැනීම තරග ඉසව්වෙන් මීටර් 7.23 ක දක්ෂතාවයක් දක්වමින් දක්ෂතම ක්‍රීඩකයා වු පුත්තලම දිස්ත්‍රික්කයේ ඩබ්.පී අමිල ජයසිරි යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතින් විසින් සිදු කීරීමට නියමිතය.

ජවන හා පිටිය තරග වලට අමතරව කාන්තා හා පිරිමි වොලිබෝල්, නෙට්බෝල්, කබඩි අවසන් තරග සහ 3 වැනි ස්ථානය සඳහා වන තරග ද මේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වීම කටයුතු යොදා තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.00ට පැවැත්වෙන ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම, තරුණ කටයුතු රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති තෙෂාර ජයසිංහ යන මහත්වරු එක්වන අතර සමාප්ති උළෙල මාර්තු 1 දා ප.ව 4.00ට රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මේ ක්‍රීඩා උළෙල පසුගිය වසරේ සැප්තැම්බර් මස 26 වැනිදා සිට 29 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එම දිනවල රට තුළ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින නියමයකින් තොරව කල් දැමීමට සංවිධායකයෝ තීරණය කළහ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.