SL vs WI – ශ්‍රී ලංකාවට පළමු තරගයෙන් කඩුල්ලක තියුණු ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.සී.සී ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද ( 22 ) සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1 – 0 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 290 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49. 1කදී කඩුලු 9ක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 111ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නැගූ නායක දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 52ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50 බැගින් රැස් කිරීමට සමත් වූහ.

අවසන් පන්දුවාර කිහිපය තුළදී පිටියට පිවිසි වනිදු හසරංග ද සිල්වා හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමගින් පන්දු 39කදී නොදැවී ලකුණු 42ක් කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යමිනි.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමට කොදෙව්වන්ට ආරාධනා කර සිටි අතර ඒ අනුව කොදෙව්වන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 289 ක් රැස් කිරීමට සමත් විය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ෂායි හෝප් සිය එක්දින ක්‍රිකට් පිටියේ 9 වැනි ශතකය වාර්තා කරමින් පන්දු 140 කදී ලකුණු 115ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ඉසුරු උදාන ලකුණු 83කට කඩුලු 3ක් බිද හෙලීය.

බ. ඉන්දීය කොදෙව් කණ්ඩායම – පන්දුවාර 50 අවසනානයේ කඩුලු 7කට ලකුණු 289

( ෂායි හෝප්ස් 115, රොස්ටන් චේස් 41, ඉසුරු උදාන 83/3 )

ශ්‍රී ලංකා කණ්ඩායම – පන්දුවාර 49.1කදී කඩුලු 9කට ලකුණු 290

( දිමුත් කරුණාරත්න 52, අවිශ්ක පනාන්දු 50, වනිදු හසරංග නොදැවී 42, අල්සාරි ජෝසෆ් 42/3 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.