ලැව් ගිනි මැද ඇරඹෙන ඕස්ට්‍රේලියානු ටෙනිස්

ලොවම කම්පා කරමින් ඔස්ට්‍රේලියාවේ ගිනිකොණ ප්‍රදේශයේ පවතින ලැව් ගින්න නිසා අහස පුරා අධික දුමාරයක් පැතිරී ගියත් නව වසරේ ලොව පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලිය ප්‍රමාද කිරීමට එය හේතුවක් නොවනු ඇතැයි ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ සංවිධායක මණ්ඩලය පවසයි. ලබන 20 වැනිදා මෙල්බර්න් නුවරදී ආරම්භවීමට නියමිත 108 වැනි ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියට ලොව පුරා ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වෙති. තරගාවලිය ප්‍රමාද නොකළත් ඔවුන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන බවත් තරග සංවිධායකයෝ පවසති.

එසේ වුවත් ලැව් ගිනි තත්ත්වයේ අඩුවීමක් දකින්නට නොමැති බැවින් මේ තරගාවලිය ප්‍රමාද කිරීමට සංවිධායකයන්ගේ අවධානය යොමු විය යුතු යැයි ලෝක ටෙනිස් ක්‍රීඩකයන්ගේ සංගමයේ සභාපති සුපිරි ක්‍රීඩක නොවැක් ඩිජොකෝවික් ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට මේ දුමාරයෙන් බාධාවක් වන්නේදැයි බොහෝ පාර්ශ්ව විමසා ඇතැයි ද, තමාට නම් එවැනි බාධාවක් පෙනෙන්නට නොමැති බව ද ඊට ප්‍රතිචාර දක්වමින් ඔස්ට්‍රේලියානු ටෙනිස් ප්‍රධානී ක්‍රෙග් ටිලේ පැවැසීය.

‘අපිට මේ දක්වා ලැබී ඇති සෑම තොරතුරකින්ම පැහැදිලි වන්නේ කාලගුණය යහපත් වන බවයි. ඒ නිසා අපි කිසිම ප්‍රමාද කිරීමක් සිදුකරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. තරගාවලිය නියමිත පරිදි පැවැත්වෙනවා. අනික අපිට සමීපතම ලැව්ගින්න වුණත් පවතින්නේ නගරයට කිලෝමීටර් සිය ගණනක් ඈතිනුයි. ‘

තත්ත්වය කෙසේ වුවත් තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ඔහු සහතික විය.

මේ අතර ලෝක ටෙනිස් පිටියේ නොම්මර එකේ ක්‍රීඩක රෆායල් නඩාල් කියා සිටියේ මේ දරුණු විපතින් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට අරමුදලක් ගොඩනැගිය යුතු බවකි. ඒ සඳහා තමා ඕනෑම අවස්ථාවක සූදානම් බවත් ඔහු කියා සිටියේය. ඒ සඳහා සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවක්ම එක්වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

මේ මස 20 වැනිදා සිට පෙබරවාරි මස 2 දක්වා පැවැත්වෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලිය වසරේ පළමුවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලිය වේ. ලොව ප්‍රබලතම හා සුපිරිතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින මේ ශූරතාවලියේ විවෘත තරග ඉසව්වේ ශූරයාට සහ ශූරියට පිරිනැමෙන ත්‍යාග මුදල ඔස්ට්‍රේලියානු ඩොලර්

41 ලක්ෂය ඉක්මවයි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 50කටත් වඩා වැඩිය.

පසුගිය වසරේ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනාගැනීමට සමත්වූයේ සර්බියාවේ නොවැක් ඩිජොකෝවික් සහ ජපානයේ නයෝමි ඔසාකාය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.