ළහිරු සහ ඇඹුල්දෙණිය පාකිස්තානය 191 න් නවතද්දී පාකිස්තාන පන්දු යවන්නෝත් එකට එක කරති

ළහිරු කුමාරගේ සහ ලසිත් ඇමුල්දෙණියගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ පාකිස්තාන පළමු ඉනිම  ලකුණු 191කට නිමා වෙද්දී, සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු දිනය වන අද ( 19 ) දිනට තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 64ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු 7ක් ඇතැතිව පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 127ක් පිටුපසින් පසුවෙයි.

පන්දුවට පහර දෙමින් සිටින ඇන්ජලෝ මැතිවුස්  ( නොදැවී 08 ) සහ ලසිත් ඇඹුල්දෙනිය ( නොදැවී 03 ) ලබා කඩුල්ලේ රැදී සිටියහ.

ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දුට සිය පළමු කඩුල්ල සඳහා ගොඩ නැංවිය හැකි වූයේ ලකුණු 28ක් පමනි.  ශහීන් අෆ්රීඩිගේ පන්දුවක් හමුවේ මොහොමඩ් රිස්වාන්ගේ අතට උඩ පන්දුවක් ලබා දෙමින් ඕෂධ ප්‍රනාන්දු පිටියෙන් ඉවත්ව යන විට ලබා සිටියේ ලකුණු 4ක් පමණි. දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් සිටි නායක දිමුත් කරුණාරත්න හතරේ පහර 4 ක් සමග ලකුණු 25 ක් ලබා සිටියදී මොහොමඩ් අබ්බාස්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. කුසල් මෙන්ඩිස්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අබ්බාස් ඉඩක් ලබා නොදුන් අතර හැරිස් සොහේල් අතට උඩ පන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්ව යන විට කුසල් ලබා සිටියේ ලකුණු 13 ක් පමණි.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ආරම්භක පිතිකරු යුගලයේ සබඳතාවය ලකුණු 10ක් තුළදී බිද හෙලීමට විශ්ව ප්‍රනාන්දු සමත් වූයේ ලකුණු 5ක් ලබා සිටි ශාන් මසූද් වේලාසනින්ම නැවතත් ක්‍රීඩාගාරයේ අසුන් ගන්වමිනි. මසූද්ගේ දැවී යාමෙන් පසු පිටියේ එක් වූ නායක අසාර් අලීට විශ්ව ප්‍රනාන්දුගේ එම පන්දුවාරය හමුවේ මුහුණ දීමට හැකි වූයේ පන්දු දෙකක් පමනී. වසර 10කට පසු කරච්චියට පැමිණි ක්‍රිකට් වසන්තයේදී පාකිස්තාන නායකයාට සිදුවූයේ ලකුණු නොලබාම යළිත් ක්‍රීඩාගාරයේ අසුන් ගැනීමටය.

රාවලිපිණිඩිහිදී නිමාවට පත් වූ පළමු ටෙස්ට් තරගයේදී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ අබිඩ් අලී අද දිනයේදී ද එකී සුපුරුදු රිද්මය පෙන්වමින් ලකුණු අතරට පිවිසෙමින් සිටියේය. එකී රිද්මයේ ගමන් මාර්ගය සැනින් තමන් යටතට ගත් ළහිරු කුමාර ලකුණු 38ක් ලබාසිටි අබිඩ් අලී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමත් සමග පාකිස්තාන කණ්ඩායමේ තෙවැනි කඩුල්ල ද බිද වැටුණි. ලකුණු 65ක් තුළ පාකිස්තාන ඉනිමෙන් කඩුලු 3ක්ම උදුරා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු කුමාර සමත් වුවද, යළිත් පාකිස්තාන ඉනිම ඉහළට ඔසවා තැබූ බාබර් අසාම් සහ අසාද් ෂෆික් සිව්වන කඩුල්ල සඳහා ලකුණු 62ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ.

සිය ටෙස්ට් දිවියේ 13 වැනි අර්ධ ශතකය රැස්කළ බාබර් අසාම් පන්දු 96කදී හයේ පහරක් සහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 60ක් ලබා සිටියදී ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ ස්ටම් කිරීමට හසුකර ගැනීමට නිරෝෂන් දික්වැල්ල සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට යම් අස්වැසිල්ලක් ගෙන දෙමිනි. පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අසාද් ෂෆික් පන්දු 126කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 62ක් රැස් කිරීමට සමත් විය. විශ්ව ප්‍රනාන්දු ලබාගත් සාර්ථක කඩුලු දඩයම එතැන් පටන් ළහිරු කුමාර සහ ලසිත් ඇඹුල්දෙනිය ක්‍රියාත්මක කිරීමට සමත් වූයේ පාකිස්තාන මැද පෙල සහ පසු පෙළ ක්‍රීඩකයන් 6 දෙනෙකුම ලකුණු 19කට සීමා කරමිනි. පළමු තරගයේදී අතිරේක ක්‍රීඩකයෙකු ලෙස බංකුවේ සිටි ලසිත් ඇඹුල්දෙණිය මෙම තරගයට එක් වූයේ ආබාධයට ලක්වූ කසුන් රාජිත වෙනුවෙන් වුවත් ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍ර යෝජන ලබා ගනිමින් ශ්‍රී ලංකා පිලට උපරිම සේවයක් කිරීමට ඔහුට හැකි විය.

පන්දු යැවීමේදී ළහිරු කුමාර ලකුණු 49කට කඩුලු 4ක් සහ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 79කට කඩුලු 4 බැගින් බිද හෙලීමට සමත් වූහ. පාකිස්තාන කඩුලු දඩයම ඇරඹූ විශ්ව ප්‍රනාන්දු ලකුණු 31කට කඩුලු 2ක් බිද හෙලීය.

හෙට ( 20 ) තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම පන්දුවාර 19 කදී කඩුලු 3කට ලකුණු 64

( දිමුත් කරුණාරත්න 25, ඇන්ජලෝ මැතිවුස් නොදැවී 08, ලසිත් ඇඹුල්දෙණිය නොදැවී 03, මොහොමඩ් අබාස්  21/2  )

පාකිස්තාන පළමු ඉනිම – පන්දුවාර 59.3කදී සියලු දෙනා දැවී ලකුණු 191

( අසාද් ෂෆික් 62, බාබර් අසාම් 60, අබිඩ් අලී 38, ළහිරු කුමාර 49/4, ලසිත් ඇඹුල්දෙණිය 71/4, විශ්ව ප්‍රනාන්දු 31/2 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.