ආසියානු කුසලානය පාකිස්ථාන නැගී එන ක්‍රීඩකයන්ට

ආසියානු කුසලාන ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කළ ආසියානු කුසලාන නැඟී එන කණ්ඩායම් අතර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පාකිස්තානය සමත් විය. සිවුවැනි වරට පැවැති මේ තරගාවලියේදී පාකිස්තානය ශූරයන්වූ පළමු අවස්ථාව මෙයයි.

පෙරේදා බංග්ලාදේශයේ මීර්පූර්හිදී පැවැති තරගාවලියේ අවසන් තරගයේදී පාකිස්තාන පිල හමුවේ සත්කාරකයෝ ලකුණු 77කින් පරාජයට පත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන නැඟී එන ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 301ක් රැස්කළ අතර පිළිතුරු ලෙස බංග්ලාදේශ නැඟී එන කණ්ඩායමට ඕවර 43.3කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 223ක් පමණි.

අෆීෆ් හොසේන් ලකුණු 49ක් රැස්කරමින් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. පන්දු යැවීමේදී මොහොමඩ් හස්නයින් කඩුලු 3ක් දවාගත් අතර කුශ්ඩිල් ෂා සහ සයීෆ් බාඩර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන පිල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කරමින් තරගයේ වීරයා වූ රොහේල් නසීර් පන්දු 111කින් ලකුණු 113ක් රැස් කළේය. හතරේ පහර 12කින් සහ හයේ පහර 3කින් ඉනිම වර්ණවත් කරගත් ඔහු, ඉම්රාන් රෆීක් සමගින් එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 117ක සබඳතාවක් ගොඩනැගීය. රෆීක් ලකුණු 62ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී සුමොන් ඛාන් කඩුලු 3ක් සහ හසන් මහ්මුද් කඩුලු 2ක් දවා ගත්හ.

තරගාවලියේ වීරයා සම්මාන බංග්ලාදේශ කණ්ඩායමේ සෞම්‍ය සර්කාර්ට හිමිවිය.

පසුගිය දෙවසරේ පිට පිට ශූරයන් ලෙසින් මේ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ මූලික වටයෙන් ඉවතට විසිවීමට සිදුවූයේ කිසිදු ජයග්‍රහණයක් නොමැතිවය. කණ්ඩායම් 8ක් කාණ්ඩ 2කින් එක්වූ තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ඕමානය, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්විය.

පාකිස්තාන නැඟී එන පිල – 301/6යි. (ඕවර 50) රොහේල් නසීර් 113, ඉම්රාන් රෆීක් 62, සවූඩ් ශකීල් 42 (සුමොන් ඛාන් 75/3, හසන් මහ්මුද් 52/2)

බංග්ලාදේශ නැඟී එන පිල – 223යි. (ඕවර 43.3) අෆීෆ් හොසේන් 49, නජ්මුල් හොසේන් 46, මෙහෙදි හසන් 42 (මොහොමඩ් හස්නයින් 32/3, කුශ්ඩිල් ෂා 39/2, සයිෆ් බාඩර් 27/2)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.