පාකිස්තාන ක්‍රිකට් වසන්තය යළි ඇරඹෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින කරගය හෙට ( 27 ) පාකිස්තානයේ කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිතයි.

2015 වසරින් පසු පාකිස්තානය ජාත්‍යන්තර තරගාවලියක් සඳහා සිය සත්කාරත්වය සපයනු ලබන්නේ වසර 4කට පසුව වීම වශේෂත්වයකි. අවසන් වරට සිම්බාබ්වේ කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින තරගාවලියක් පාකිස්තානයේ පවත්වා තිබේ. ශ්‍රී ලංකා පාකිස්තාන් එක්දින තරගාවලියට සත්කාරත්වය සපයන පාකිස්තානයේ කරච්චි නුවර 2009 වසරින් පසු කිසිදු ජාත්‍යන්තර තරගයක් පවත්වා නොමැති අතර ඒ අනුව හෙට දිනයේදී පළමු එක්දින තරගය නැරඹීමට විශාල ජනකායක් කරච්චි ක්‍රීඩාංගණය වෙත එක්වනු ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විශ්වාසය පළ කරමින් සිටියි.

ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායක දිමුත් කරුණාරත්න, විස්සයි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ඇතුළු ප්‍රවීන ක්‍රීඩකයන් 10 දෙනෙකු පාකිස්තාන සංචාරය ප්‍රතික්ෂේප කිරීමත් සමග ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්නටත්, විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකටත් පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලහිරු තිරිමාන්න කියා සිටියේ, කණ්ඩායමේ  නායකයා වශයෙන් තමන් සතුටු වන බවත්, තරගාවලිය සාර්ථකව අවසන් කිරීම කණ්ඩායමේ සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව බවත් ය.

“ අපිට සමබර කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම තරුණ ක්‍රීඩකයන් රැසක්ම මෙම සංචිතයේ ඉන්නවා. අපි බලන්න ඕනි දැනට ඉන්න කණ්ඩායමෙන් කොහොමද කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්නෙ කියලා. මම හිතනවා මේ අවස්ථාව නවක ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් කියලා. විශේෂයෙන් ඔවුන්ට තමන්ගේ හැකියාවන් පෙන්වන්න මෙය හොඳ වේලාවක්.

පාකිස්තානයෙන් ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම, පාකිස්තාන සංචාරයට එක්වීම සම්බන්ධයෙන්ද තිරිමාන්න අදහස් පළ කළේය.

“ අපිට මුළින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්  කතා කරලා පෙන්නුවා පාකිස්තානයෙන් ලැබෙන ආරක්ෂක වැඩ පිළිවෙල ගැන. ඉතින් පෞද්ගලිකවම ගත්තොත් මට එහෙම ගැටලුවක් තිබු‍නේ නැහැ එයාලගේ ආරක්ෂක වැඩ පිළිවෙල ගැන. ඔවුන් ආරක්ෂාව හොදටම අපිට ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා යැයි ලහිරු තිරිමාන්න වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම පකිස්තානය ඉවත් වීම සමග සෆ්රාස් අහමඩ් සහ හිටපු පකිස්තාන ප්‍රධාන පුහුණුකරු මිකී ආතර අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පකිස්තානය ක්‍රිකට් ආයතනය තරගාවලියෙන් තරගාවලියට නායකයෙකු පත් කිරීමට පියවර ගෙන තිබුණි.  එහෙත් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මෙන්ම තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස පත් වූ ම්ස්බා උල් හක් ඇතුළු පකිස්තාන ක්‍රිකට් ආයතනය නැවතත් සෆ්රාස් අහමඩ් නායකත්වයේ රැදවීමට තීරණය කළේය. සෆ්රාස් අහමඩ් නැවතත් නායකත්වයට පත්වීමෙන් පසුව පාකිස්තානයේ පැවැත්වෙන පළමු තරගාවලිය මෙය වන අතර ඒ සම්බන්ධයෙන් ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ,

මට සිකුරාද වෙනතුරු ඉවසිල්ලක් නැහැ. ඒ දිනය කවදාවත් අමතක වෙනේකම් නැහැ. මම හිතනවා මට පසුපසින් විශාල සෙනගක් අපිව දිරිගන්වන්න ඒවි කියලා. අපිට විතරක් නොවෙයි, අපිට මේ අවස්ථාව ලබාදුන් ප්‍රතිවිරුද්ධ සගයන්ටත් ඔවුන් දිරිගන්වන්නන් බවට පත්වේවි යනුවෙනි. 

ශ්‍රී ලංකා සංචිතයෙන් ප්‍රවීන ක්‍රීඩකයන් දස දෙනෙකුම ඉවත් වීමත් සමග, ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය අහිමිව සිටි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම නැවතත් කණ්ඩායමට එක්වීමට අවස්ථාව හිමි වූහ. ඒ අතර  ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවිකුම මෙන්ම ඕෂධ ප්‍රනාන්දු යන ක්‍රීඩකයෝ වෙති. මිනෝද්භානුක, භානුක රාජපක්ෂ වැනි නවක ක්‍රීඩකයන්ට ද ඒ ඔස්සේ ජාතික කණ්ඩායමට එක්වීමට අවස්ථාව හිමි විය.

ශ්‍රී ලංකාව නවකයන්ගෙන් යුත් කණ්ඩායමක් මෙවර තරගාවලියට ඉදිරිපත් කරද්දී පකිස්තානය ඔවුන්ගේ හොඳම තුරුප්පු මෙවර තරගාවලියට එක් කිරීමට මිස්බා උල් හක් ප්‍රමුඛ තේරීම් කමිටුව පියවර ගත්තේය. ඒ අනුව අබිඩ් අලී, ඉෆ්තිකර් අහමඩ්, මොහොමඩ් නවාස්, මොහොමඩ් රිස්වාන්, උස්මාන් ශින්වාරි සහ මොහොමඩ් හස්නෙයින් නැවතත් කණ්ඩායමට කැදවීමට පාකිස්තාන තේරීම් කමිටුව පියවර ගත්තේය. 29 හැවිරිදි අෆ්තිකර් අහමඩ් 2015 වසරේ එංගලන්තයට එරෙහිව එක්දින තරග 2කට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුවද, දීර්ඝ කාලීනව කණ්ඩායමේ රැදීමට අවස්ථාවක් හිමි නොවූයේ ඒ වනවිට මොහොමඩ් හෆීස් සහ ෂොයිබ් මලික් කණ්ඩායමේ ප්‍රධාන තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස එක්ව සිටි බැවිනි. නමුත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු එක්දින පිටියට සමුදුන් මලික් වෙනුවට ඉෆ්තිකර් අහමඩ් නැවතත් කණ්ඩායමට කැදවීමට තීරණය කළේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ ශහීන් අෆ්රීඩ්ට ඩෙංගු උණ වැළදීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්ව ඇති අතර, හසන් අලීද ආබාධයට ලක්ව තිබේ. මේ හේතුවෙන් ඔවුන් දෙදෙනාම එක්දින සංචිතයට එක් නොකළ බව පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මෙන්ම තේරීම් කමිටුවේ ප්‍රධානි මිස්බා උල් හක් සඳහන් කර තිබුණි.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ලහිරු තිරිමාන්න ( නායක ) ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා, වනිදු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර

පාකිස්තාන එක්දින සංචිතය – සෆ්රාස් අහමඩ් ( නායක ), බාබර් අසාම් ( උප නායක ) , අබිඩ් අලී, අසිෆ් අලී,ෆකාර් සමාන්,  හැර්සි සොහේල්, මොහොමඩ් හස්නෙයින්, ඉෆ්තිකර් අහමඩ්, ඉමාඩ් වසීම්, මොහොමඩ් අමීර්, මොහොමඩ් නවාස්, මොහොමඩ් රිස්වාන්, ශඩාබ් ඛාන්, උස්මාන් ශින්වාර්, වහාබ් රියාස්

තරග කාල සටහන

සැප් – 27 – පළමු එක්දින තරගය කරච්චිහිදී

සැප් -29 – දෙවැනි එක්දින තරගය කරච්චිහිදී

ඔක් – 02 – තෙවැනි එක්දින තරගය කරච්චිහීදි

ඔක් – 05 – පළමු විස්සයි 20 තරගය ලාහෝර්හිදී

ඔක් – 07 – දෙවැනි විස්සයි 20 තරගය ලාහෝර්හිදී

ඔක් – 09 – තෙවැනි විස්සයි 20 තරගය ලාහෝර්හි

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.