ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය – පරාජයන් 3කට පසු ශ්‍රී ලංකාව පළමු ජය ලබයි

20 වැනි වරටත් පවත්වනු ලබන ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ කසකස්තානය අතර පැවති තරගයෙන් තරග වට 3-1 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට අද ( 17 ) සමත් විය.

තියුණු සටනකින් පසුව ලකුණු 35-33 කින් පළමු වටය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගත්තේය.

එහෙත් පළමු වටයේ සිදුවූ අතපසුවීම් මගහරවා ගනිම්න් දෙවැනි වටයට පිවිසි කසකස්තාන ක්‍රීඩකයෝ එම තරග වටය ලකුණු 25-22 කින් ජය ගනමින් නැවතත් තරගය දෙපිලටම විවෘත තත්වයකට ගෙන ඒමට කටයුතු කළහ.

පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරග ත්‍රිත්වයම ඉරානය, ඕස්ට්‍රේලියාව සහ කටාරය හමුවේ පරාජය වීමට සිදු වූ අතර එයින් පාඩමක් ඉගෙන ගත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරග වටයේ ආරම්භක තරගයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී පසුබිමක් දක්වා රැගෙන ඒමට ක්‍රියා කළේය. දෙපිලටම තීරණාත්මක තරග වටයක් වූ තෙවැනි තරග වටය ද ශ්‍රී ලංකාව ලකුණු 25 – 20 කින් ජය ගැනීමට සමත් විය.

තරග වට 2-1 කින් පෙරමුණ ගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වන තරග වටයේදී ද සුපුරුදු රිද්මය පවත්වා ගනිමින් එම තරග වටයද ලකුණු 25 – 22 කින් ජය ගනමින් මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි වටයේ සහභාගී වන දෙවැනි තරගය හෙට ( 18 ) ඕමාන් කණ්ඩායම සමගින් පැවැත්වේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.