ටොම් ලේතම්ගේ ශතකයෙන් නවසීලන්තය සාර්ථක ගමනක  

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්ත  කණ්ඩායම තෙවැනි දිනට ( 24 ) තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 196 ලබා සිටියේය.  ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා නවසීලන්තය කඩුලු 6ක් ඇතැතිව තවත් ලකුණු 48 ක් පිටුපසින් පසුවෙයි.

නවසීලන්ත ආරම්භක පිතිකරු ටොම් ලෙතම් ප්‍රවේසම්කාරී පිතිහරඹයක නිරත වෙමින් තම ටෙස්ට් දිවියේ 10 වැනි ටෙස්ට් ශතකය ලබා ගැනීමට සමත් වූයේ ධනංජය ද සිල්වා ගොඩ නැගූ ශ්‍රී ලංකා ඉනිමට අභියෝග කරමිනි. ඔහුගේ නම ඉදිරියේ ලියවී ඇති ටෙස්ට් ශතක 10න් 4ක්ම ශ්‍රී ලංකාවට එරෙහිව ලබා තිබීම ද විශේෂත්වයකි. තෙවැනි දිනට තරගය නතර කරන විට ටොම් ලේතන් නොදැවී  ලකුණු 111 සහ බී.ජේ වොට්ලින් නොදැවී ලකුණු 25 ලබා කඩුල්ලේ රැදී සිටියහ.

<<දිමුත් වැස්සට අභියෝග කරමින්, දිගු ඉනිමකට සැරසෙයි – Day 01 Report>>

නවසීලන්ත පළමු ඉනිම ඇරඹීමට පිටියට පිවිසි ජිට් රාවල්ට සහ ටොම් ලෙතම්ට සාර්ථක සබඳතාවයක් ගොඩ නැගීමට අවස්ථාව ලබා නොදුන් දිල්රැවන් පෙරේරා, ජිත් රාවල් ලකුණු ලබා ගැනීමටත් පෙරාතුවම නැවතත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් විය.

රාවල්ගේ දැවී යාමෙන් පසු පිටියේ එක් වූ නායක කේන් විලියම්සන් සහ ටොම් ලෙතම් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 33ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වුවද ලහිරු කුමාර යැවූ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස්ගේ අතට උඩ පන්දුවක් ලබාදීම නිසා කේන් විලියම්සන්ගේ ඉනිමද ලකුණු 20කට සීමාවිය.

කේන් විලියම්සන්ට ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදී ද දක්ෂතා අතරට ඒමට අවස්ථාවක් හිමි නොවූ අතර ඔහු මෙම තරගයේද ද ලකුණු 20කට දැවී යාම නවසීලන්ත කණ්ඩායමේ බිද වැටීම ප්‍රධාන හේතුවක් බවට පත් විය. රොස් ටේලර් සහ ටොම් ලෙතම් එක්ව තෙවැනි කඩුල්ල සදහා ලකුණු 50 ක සබතාවයක් ගොඩ නැගීමට කටයුතු කළද එයට හරස් වූ දිල්රුවන් පෙරේරා ලකුණු 23 ලබා සිටි රොස් ටේලර්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 244ක් රැස් කිරීමට සමත් විය.

දෙවැනි දිනය වූ ඊයේ ( 23 ) වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 6ක් අහිමිව ලකුණු 166ක් ලබාසිටි ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත්  කිරීමට හයවැනි  පිතිකරුවා ලෙස පිටියට පිවිසි ධනංජය ද සිල්වා සමත් විය. ධනංජය ද සිල්වා ලකුණු 94ක් ලබා සිටියදී, ලසිත් ඇඹුල්දෙණියගේ කඩුල්ල දවා ගැනීමට ටිම් සවුති සමත් වූයේ ධනංජය ද සිල්වාගේ ශතකය සිහිනයක් බවට පත් කරමිනි. ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 9කට ලකුණු 224 ලෙසය.  එහෙත් ඉන් අනතුරුව පිටියට පිවිසි ලහිරු කුමාර සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ධනංජය ද සිල්වාට සිය ශතකය ලබා ගැනීමට අවශ්‍ය අඩිතාලම දමා දුන්නේය. ටිම් සවුති විසින් පිට ඉන්නට මදක් එපිටතින් යැවූ පන්දුව කෙලින්ම තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ සීමාව වෙත යොමු කළ ධනංජය ද සිල්වා තම ටෙස්ට් දිවියේ 5 වැනි ශතකය වාර්තා කිරීමට සමත් විය. ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස දැවී යනවිට පන්දු 148කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 16ක් සමගින් ලකුණු 109 රැස් කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය මොහොතේ විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමිනි. ධනංජය ද සිල්වාට සිය 5 වැනි ශතකය වාර්තා කිරීම සඳහා මාස 19 ක කාලයක් බලා සිටීමට සිදු වූ අතර ඔහු අවසන් වරට ශතකයක් වාර්තා කර තිබුණේ 2018 වසරේ ජනවාරි මාසයේදී බංග්ලාදේශයට එරෙහිවය.

<<වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනට ද තරගය අතහැර දමයි – Day 02 Report>>

ධනංජය ද සිල්වා සහ දිල්රුවන් පෙරේරා එක්ව  7 වැනි කඩුල්ල සඳහා ලකුණු 41ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූ අතර දිල්රුවන්ගේ දැවී යාමෙන් පසු පිටියේ එක් වූ සුරංග ලක්මාල් සමගින්ද 8 වැනි කඩුල්ල සඳහා නැවතත් ලකුණු 43ක සබඳතාවයක් ගොඩ නැගීමට ධනංජය ද සිල්වා සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළට ඔසවා තබමනි.

පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී නියමුවා බවට පත් වූ, නායක දිමුත් කරුණාරත්න තම ටෙස්ට් දිවියේ 23 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස්කරමින් ලකුණු 65ක් රැස් කිරීමට සමත් වුවද, ලහිරු තිරිමාන්න, කුසල් ජනිත් පෙරේරා , ඇන්ජලෝ මැතිවුස් සහ නිරෝෂන් දික්වැල්ලට මෙම තරගයේදී ලකුණු අතරට ඒමට නවසීලන්ත පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ.

නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ටිම් සවුති ලකුණු 63කට කඩුලු 4ක් සහ ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 75කට කඩුලු 3 බැගින් බිද හෙලූහ.

නවසීලන්ත පළමු ඉනිම  – පන්දුවාර 62 කදී කඩුලු 4කට ලකුණු 196

( කේන් විලියම්සන් 20, රොස් ටේලර් 23, ටොම් ලෙතම් නොදැවී 111 , බී ජේ වොට්ලින් නොදැවී 25, දිල්රුවන් පෙරේරා 76/2 )

ශ්‍රී ලංකා පළමු ඉනිම – පන්දුවාර 90.2කදී සියලු දෙනා දැවී ලකුණු 244

( දිමුත් කරුණාරත්න 65, කුසල් මෙන්ඩිස් 32, ධනංජය ද සිල්වා 109 , දිල්රැවන් පෙරේරා 13, සුරංග ලක්මාප් 10, ටිම් සවුති 63/4, ට්‍රෙන්ට් බෝල්ට් 75/3 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.