සුපිරි තරු රැසක් කෙළිබිම කළඹමින් සාග් උළෙලට තේරීපත් වෙති

97 වැනි වරටත් පවත්වනු ලබන මළල ක්‍රීඩා ජාතික ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් හිමාෂ ඒෂාන් මෙවර වේගවත්ම ක්‍රීඩකයා බවට පත් වෙද්දී, ශ්‍රී ලංකා යුද හමුදාවේම ලක්ෂිකා සුගන්ධි වේගවත්ම ක්‍රීඩිකාව බවට පත් වූවාය. ඒ අනුව ඔවුන් මෙවර නේපාලයේ කත්මන්දු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා තරග වැදීමට නියමිතය.

පිරිමි  මීටර් 100 තරග ඉසව්ව දැඩි උණුසුම් මුහුණුවරක් ගත් අතර එහිදී හිමාෂ ඒෂාන් විසින් සුරංජය ද සිල්වා අවසන් දශයෙන් පරාජය කරමින් මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සදහා සුදුසුකම් ලබා ගත්තේය. අවසන් තරගයේදී දෙදෙනාම එකම කාලය වාර්තා කරමින් ( තත්පර 10.49 ) තරගය අවසන් කිරීම කාගේත් අවධානය යොමුවිය.

එහෙත් තරගයෙන් පසුව හිමාෂ ඒෂාන් කියා සිටියේ තමන් වාර්තා කළ කාලය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි. ඔහු මෙම වසර මුලදී පැවැති තරගයන්හිදී තත්පර 10.11 කාලයක් සහ තත්පර 10.22 කාලයක් වාර්තා කිරීමට සමත් විය.

කාන්තා මීටර් 100 තරග ඉසව්ව තත්පර 12.08 කින් අවසන් කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ ලක්ෂිකා සුගන්ධි  මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සදහා සුදුසුකම් ලබා ගත්තාය. මීටර 100 කඩුලු මතින් දිවීමේ තරගයද තත්පර 13.59කින් අවසන් කළ ඇය එම තරග ඉසව්වේද ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූයේ ඉසව් දෙකෙහිම ජයග්‍රහණය තමන් සතුකරගනිමිනි.

“ මම ඇත්තටම මීටර් 100 තරග ඉසව්වට සහභාගී වුනේ රිලේ එකට යන්න. ඒ නිසා මට පළවැනියා වෙන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. ඒත් ලොකු දුකක් තියෙනවා. රුමේෂි ආබාධයට ලක්වීම ගැන දුකයි. මොකද රිලේ ටීම් එකට එයා නැති එක ලොකු පාඩුවක්. ඒ වගේම රුමේෂී කියන්නේ 2016 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ වේගවත්ම ක්‍රීඩිකාව. ඒ නිසා ඇය ගැන දුකක් තියෙනවා. ඒ වගේම මට සතුටක් තියෙනවා මම පළමු වතාවට තමයි ජාතික තරගාවලියක මීටර් 100 තරග ඉසව්වෙන් පළමු වැනියා බවට පත් වුනේ. යැයි ලක්ෂිකා සුගන්ධි තරගයෙන් පසුව කියා සිටියේය.

<<දකුණු ආසියාවට අභියෝග කරන්න සුගන්ධිත් සූදානමින්>>

මීටර 400 තරග ඉසව්ව තත්පර 46.76 කින් අවසන් කරමින් මෙවර දකුණු ආසියානු තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අරුණ දර්ශන සමත් විය.  මෙය ඔහුගේ හොඳම කාලය නොවනද, ඔහුද මෙවර සාග් තරගාවලියේ ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දෙනු ඇති බව කාගේත් බලාපොරොත්තුව බවට පත්ව තිබේ.

දකුණු ආසියාවේ වේගවත්ම මාර්ග ධාවන ක්‍රීඩිකාව වන හිරුණි විජේරත්න පළමු වරට ශ්‍රී ලංකාවේ පැවැති ජාතික තරගාවලියකට එක්වෙමින් මීටර 10000 තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. ඇය එහිදි විනාඩි 35 තත්පර 30 තරගය අවසන් කිරීමට සමත් වූවාය.

හෙට ( 18 ) තරගාවලියේ තෙවැනි හෙවත් අවසන් දිනයයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.