දිල්රුවන්ට පළමු තරගය මග හැරෙයි – චන්දිමාල් අවසන් 15ට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම මස 14 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් අද ( 09 ) නිල වශයෙන්  ප්‍රකාශයට පත් කළේය.

මෙම වසරේ පෙබරවාරි මාසයෙන් පසු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිව සිටි දිනේෂ් චන්දිමාල් ක්‍රීඩකයන් 22 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට එක්කර තිබුණ ද ඔහුට අවසන් 15 දෙනාගේ සංචිතයට එක් වීමට අවස්ථාවක් ලැබේද යන්න සැක සහිත බවක් උද්ගත වී තිබිණ. ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ද පවසා සිටියේ දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමට එක් වීමට අවස්ථාවක්  ඇත්නම් එය කඩුලු රකින්නෙක් ලෙස පමණක් බවය. කෙසේ නමුත් මේ වනවිට පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ දක්ෂතා අතර සිටින සධීර සමරවිකුම සහ ධනුෂ්ක ගුණතිලක පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන අවසන් සංචිතයට එක් නොකිරීමට තේරිම් කමිටුව පියවර ගෙන තිබේ. දිනේෂ් චන්දිමාල් මේ වනවිට කැනඩාවේ පැවැත්වෙන ගෝලිය විස්සයි 20 තරගාවලියට සහභාගී සිටින අතර ඔහු හැකි ඉක්මනින් නැවතත් කණ්ඩායමට එක් විමට නියමිතව ඇත.

අකිල ධනංජය සහ ලසිත් ඇඹුල්දෙනිය  පළමු ටෙස්ට් තරගය සඳහා නම්කර ඇති අතර දිල්රුවන් පෙරේරා ආබාධ වීම හේතුවෙන්  පළමු  තරගයට නම් නොකිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ලෝක කුසලාන තරගාවලියට එක් නොවූ නිරෝෂන් දික්වැල්ල ද පළමු ටෙස්ට් තරගය සඳහා ඇතුළත්ව ඇත.

පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය

දිමුත් කරුණාරත්න ( නායක ), ඇන්ජලෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, ඕෂධ ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු  

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.