ධනුෂ්ක සහ සදීර ශ්‍රී ලංකා ඉනිම ගොඩ නගති

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු ක්‍රිකට් තරගය අද ( 08 ) කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.  සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම පළමු දිනය අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 323 ලබා සිටියේය.

නායක අෂාන් ප්‍රියංජන් (නොදැවී 56) සහ මිනෝද් භානුක (නොදැවී 14) ලබා කඩුල්ලේ රැදී සිටියහ.

ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ ධනුෂ්ක ගුණතිලක  සහ සදීර සමරවික්‍රම ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 154ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ.

වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ ධනුෂ්ක ගුණතිලක පන්දු 97 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 98 ක් රැස්කර ගෙන සිටියදී පටෙල්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ සිය ශතකය පෙනි පෙනී තිබියදීය.  සදීර පන්දු 90 කින් හතරේ පහර 13 ක් සමගින් ලකුණු 80 ක් රැස් කිරීමට සමත් විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නවසීලන්ත කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන අජාෂ් පටෙල් ලකුණු 41 කට කඩුලු පහක් බිද හෙලීය.

වර්ෂාව හේතුවෙන් මෙම තරගය ආරම්භ වීම පැය දෙකකට අධික කාලයක් ප්‍රමාද වූ අතර හෙට (09) තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම් පළමු ඉනිම – පන්දුවාර 65.5 කදී කඩුලු 6 ට ලකුණු 323
(ධනුෂ්ක ගුණතිලක 98, සදීර සමරවික්‍රම 80, ඇන්ජලෝ පෙරේරා 32, අෂාන් ප්‍රියංජන් නොදැවී 56, පැතුම් නිස්සංක 35, මිනෝද් භානුක නොදැවී 14, අජාෂ් පටෙල් 41/5)

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.